Friday, April 29, 2016

සංවාද

සංවාද වල වැදගත් කම

පරම්පරාවක් තවත් පරම්පරාවට තමන් දන්නා දේ කියාදීමට ඇති හැකියාව හෙවත් දැනුම හුවමාරු කරගැනීමට ඇති හැකියාව මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුව සදහා  ඉතා වැදගත් කරුණකි. දැනුම හුවමාරු කරගැනීම සදහා විවිධ ක්‍රම තිබිය හැකිය. එක්පසකට දැනුම ගලායන ක්‍රම මෙන්ම දැනුම දෙපසට ගලායන බෙදා හදා ගන්නා ක්‍රම  මේ කරුණෙහිලා වැදගත් වේ. සංවාද යනු දැනුම දෙපසට ගලායාමට ඉඩදෙමින් දැනුම බෙදා ගැනීමෙහිලා වැදගත්ම වන ක්‍රමයකි. ඒ නිසා මම සිතන්නේ සංවාද යනු මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුව සහ ඉදිරි පැවැත්ම සදහා අත්‍යවශ්‍යම දෙයක් බවයි.

කතා කිරීමේ හැකියාව ඇති අපි හැමෝම වාචික සංවාද ගණනාවක් දවසකට කරනවා ඇති. බ්ලොග් සහ විද්‍යුත් පුවත්පත් වල ෆේස්බුක් ට්විටර් වැනි සමාජ ජාල වල ලිඛිත සංවාද සැහෙන ගණනක් දවසකට කරනවා ඇති. මේ සංවාද වලදී හැමෝම බලාපොරොත්තු වෙන්නේ දැනුම හුවමාරුවයි.  

කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුද ?

"කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" යන්නෙහි ඉතිහාස කතාව මම හරි හැටි නොදැනීම ගැන කණගාටු වෙමි. දන්නා කෙනෙකුගෙන් අසා දැනගැනීමටද කැමැත්තෙමි. කෙසේවෙතත්, මම සිතන්නේ නම්, කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු නැති බවයි. විශේෂ හැකියාවක් නොමැති නම් "මොලයෙන් මොලයට" දැනුම ස්වයන්සිද්ධව හුවමාරු කරගැනීමට බැරි බව සාමාන්‍ය දිවියේ සැවොම දන්නා කරුණකි. මිනිසුන්ගේ අදහස් හුවමාරු කරගැනීමේ ප්‍රධානම අතුරු මුහුනත් වන්නේ කතාකිරීම හා ලිවීමයි. ලිවීමේදී සහ කතාකිරීමේදී වඩා වැදගත් වන්නේ කුමක්ද යන්න සමහර අයෙකු නොසිතන්නට පුළුවන්. ඇත්තෙන්ම අපි ලියන්නේ හෝ කතා කරන්නේ ඇයි ද යන්න මුලින්ම සිතා බැලීම මෙහිදී වැදගත්.  ලිවීම ගැන මුලින් සිතමු. මම ලිවිය යුත්තේ මට ඕනෑ දේද ? එය ඔවු විය හැකි අවස්ථා මෙන්ම ඔවු විය නොහැකි අවස්ථාද පවතී. උදාහරණයක් ලෙස, අනාගතයේදී තමන්ට බැලීමට ලියනා සටහන් පොතක් විෂයෙහි තමන් කැමති දේ ලිවීම එකී අභිප්‍රාය ඉටු කරයි. නමුත්, අප කතා කරමින් සිටි සංවාද වලට නැවත යොමු වුවහොත්, ලිඛිත සංවාදයකදී ලිවීමේ අභිප්‍රාය වන්නේ වෙනත් අයෙකුට තේරුම් ගැනීම සදහා තම අදහස් විස්තර කිරීමයි. කතා කිරීමෙදී ද තනිකමට තනියෙන් දොඩවන අවස්ථාවක දී හැර, සංවාදයකදී වැදගත් වන්නේ වෙනත් අයෙකුට තේරුම් ගැනීම සදහා පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමයි. (විශේෂයෙන්ම රුපවාහිනී වල මම දැක ඇති) සමහර සංවාද කරුවන් තමුන් දන්නා දේ හිතේ හැටියට දෙසාබෑමෙන් සංවාද කල කල බව සිතයි. නමුත් සැබෑවටම ගත් කල එය කතා කිරීමක් නොව හුදෙක් දිව ඇඹරීමකි (tongue twisting).  ලියවිල්ලක දී නම් කියවන්නාට තේරුම් ගත නොහැකි නම් එය හුදෙක් කුරුටු ගෑමකි. මම සිතන්නේ අප හැම දෙනාගේම අරමුණ දිව ඇඹරීමට හෝ කුරුටු ගෑමට නොව ලිඛිත සහ වාචික සංවාද තුලින් දැනුම හුවමාරු කරගැනීමටයි.


සාර්ථක ලියුමක්


සාර්ථක ලියන්නෙකු වීමට නම් සෑම විටම කියවන්නාගේ පැත්තෙන් සිතා බැලීම අතිශයින් වැදගත් වේ යයි මම සිතමි. යමක් ලියු පසු එය ලිව්වේ තමන් බව අමතක කර කියවා බැලිය හැකි නම් වඩා වටී. මේ ලියන්නේ කියවන්නා වෙනුවෙන් බව ලියන සෑම විටකම නැවත නැවත මෙනෙහි කිරීම සාර්ථක ලියවිල්ලකට හේතු වේ. 

රුපවාහිනියේ වාචික සංවාද

කතා කිරීමේදී ලිවීමේදී මෙන් අපට නැවත සිතා බැලීමේ අවස්ථාව නොලැබේ. සාර්ථක වාචික සංවාද කරුවෙකු වීමට නම් ඇත්ත වශයෙන්ම ඒ ගැන පූර්ව සිතා බැලීමක් අත්‍යවශ්‍ය වේ. වාචික සංවාද බොහෝ විට පදනම් වන්නේ ප්‍රශ්ණ – උත්තර සහ තර්ක – විතර්ක මතයි. ම දන්නා තරමින් නම්, ලැබෙන සීමිත කාලයෙන් ඵලදායී සංවාදයක් කිරීමට කරුණු කිහිහිපයක් වැදගත් වේ. සම්පත් දායකයන් ගෙන්වා ගන්න බොහෝ රුපවාහිනී සංවාද වල අවසානයේදී, "ඔබ සමග බොහෝ දේ කතා කරන්නට තිබුනත් කාල වෙලාව අපට හරස් වෙනවා, ආයුබෝවන්", යන වචන බොහෝ දෙනකුට කටපාඩම් වී ඇතුවාට සැකයන් නැත. නමුත් බොහෝවිට එම සංවාද අවසානයේ බලාසිටින අපට බොහෝවිට හැඟෙන්නේ ලැබූ කාලයේදී පවා කිසිම වැදගත් දෙයක් කතානොකල බවත් තවත් කාලය තිබුනත් වෙන්නේ ඒ ටිකම බවත් ය.

සමහර සංවාද වලදී වෘත්තීයවේදී සම්පත් දායකයන් ගෙන්වාගත්තද එම සංවාද මෙහෙයවන්නන් එකී සංවාද වල හරය සහමුලින්ම විනාශ කරදමන්නේ ප්‍රශ්න පමණක් අසමින් ඒවාට පිළිතුරු දීමට ඉඩ නොදෙමින්ය. තවද, වාද විවාද සංවාද මතවාද ගොඩනගනවා යයි කියාගන්නා දේශපාලන සංවාද කරුවන් සමහරුන් සිතනවා ඇත්තේ අනෙක් පුද්ගලයාගේ කතා කිරීමට බාධා කිරීම සංවාද කිරීමක් හැටියට විය හැකියි. ප්‍රශ්න ඇසු විට පිළිතුරු දීම හෝ එම ප්‍රශ්නයට තමන් පිළිතුරු නොදන බව කීම වෙනුවට වල්පල් කියවීමද අපේ දේශපාලකයන් සංවාද යයි සිතා සිටිනවා හැකියි. අනෙක් අතට ගත්  කල, මෙවැනි වැඩසටහන් වල ප්‍රශ්න ඇසීමට සිටිනවා යයි කියනා මාධ්‍යවේදීන් යයි කියාගන්න පුද්ගලයන්ද ප්‍රශ්න වෙනුවටය ඔවුන්ගේ දීර්ග දේශනා ඉදිරිපත් කරයි. අවසානයේ පිළිතුරු වලට වඩා දිගු වන්නේ ප්‍රශ්නයි. මේ කරුණෙහි ලා, මා දුටු කණගාටුදායක ම සිදුවීම නම් 2014 ඔක්තෝබර් මස හෝ ඒ ආසන්නයේදී, දේශපාලන වැඩසටහනක නරබන්නෙකු ලෙස පැමිණි රජයේ විශ්වවිද්‍යාලයක උපකුලපති වරයෙකුද, ප්‍රශ්න ඇසීමට දුන් අවස්ථාවේදී අදහසක් ඉදිරිපත් කිරීමෙන් පසු, ඔබ අසන ප්‍රශ්නය කුමක්දැයි ඇසු විට, ප්‍රශ්නයක් ඇසීමට නොමැති බව පැවසීමයි. 

සාර්ථක වාචික සංවාද කරන්නේ කොහොමද ?

තවත් කරුණක් නම්, ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී අප බොහෝ විට හුරු වී ඇති ආකාරයයි. අප බොහෝ විට හුරු වී ඇත්තේ කරුණු දැක්වීම අවසානයේ නිගමනය ලෙස ඔවු හෝ නැත යන්න හෝ වෙනත් යමක් පැවසීමටයි. නමුත් මෙවැනි පිළිතුරක් අවසානය තෙක්ම අසාසිටින්නාගේ පැත්තෙන් ඇසෙන්නේ ඝෝෂාවකි. මන්ද පිළිතුරේ කරුණු මගින් ශක්තිමත් කරන්නේ කුමන අදහසක්දයි පැහදිලි නොවන නිසාය. මෙවැනි පිළිතුරු බොහෝවිට අසාසිටින පිරිස ඉච්ඡාභංගයට පත් කරයි (audience frustration). උදාහරණයක් ලෙස, හැන්දවකදී ඔබේ මිතුරෙකු කෑමක් මිලදී ගෙන එන විටදී ඔබට හමුවන අවස්ථාවක් ගැන සිතමු. ඔබ මේක කොහෙන්ද ගත්තේ යයි අසනවා යයි සිතමු. ඔහු උදේ නිවසින් පිටවූ මොහොතේ සිට ගිය හැමතැනකම තොරතුරු කියා අවසානයේ ඒ එන ගමන් මේක අර අතන පේන කඩෙන් ගත්තා යයි පිළිතුරු දෙනවා නම් එම පිළිතුර අසාගෙන සිටීමට ඔබට කොතරම් පහසුතාවයක් දැනෙනවද යන්න ඔබට පැහැදිලි ඇති. වාචික සංවාද වලදී තවත් වැදගත්ම කරුණක්ම නම් ප්‍රශ්නය හරි හැටි පැහැදිලි නොවෙන විටදී ප්‍රශ්නය අනුමාන කර පිළිතුරු දීමයි. මෙවැනි අවස්ථාවක අනුමානය වැරදි නම්, "යන්නේ කොහෙද? මල්ලේ පොල්" වැනි විකාරරූපී ජවනිකා ලෙස බලා සිටින්නන්ට පෙනේ. ප්‍රශ්නය හරි හැටි පැහැදිලි නොවෙන විටදී නැවත ප්‍රශ්නය අසා පැහැදිලි කරගැනීම කාලය නාස්තියක් නොව කාලය ඉතිරි කරගැනීමකි. එමෙන්ම සභාවකදී නම් තමන්ගේ ප්‍රතිරූපය ද ආරක්ෂා කරගැනීමකි.       

සාරාංශය
ලිඛිත සහ වාචික සංවාද යනු අපේ ජීවිතයේ ඉතා වැදගත් අංගයන්‍ය. ලිඛිත සංවාදයකදී නම්, ලිව්වේ තමන් බව අමතක කර නැවත කියවා කියවන්නාගේ පැත්තෙන් සිතා බැලීම පැහැදිලිව අදහස් හුවමාරුව සදහා හොද ක්‍රමයකි. වාචික සංවාදයකදී ප්‍රශ්න අසන විට ප්‍රශ්නයට පෙර දීර්ග අදහස් දැක්වීම හොද ප්‍රශ්නයක වුවද වටිනාකම අඩු කරයි. ප්‍රශ්නයකට පිළිතුරු දෙන විට ඔවු හෝ නැත හෝ වෙනයම් නිගමනයක් හෝ මුලින් පවසා ඒ නිගමනය ශක්තිමත් කිරීම සඳහා තවත් පැවසිය යුතු යම් දෙයක් වේ නම් පැවසීම උචිතය. ප්‍රශ්නය පැහැදිලි නොවන විටකදී ප්‍රශ්නය පැහැදිලි කරගෙන පිළිතුරු දීම හැම අතින්ම යහපත්ය. පිළිතුරු දීමට අකමැති හෝ පිළිතුරු නොදන්නා ප්‍රශ්නයකදී අනවශ්‍ය දේ කීමෙන් තොරව ඒ පිළිබඳව පිළිතුරු දීමට නොහැකි බව කීමෙන් පෙනෙන්නේ ඔබේ පරිණත බවයි. 

   

49 comments:

  1. බොහොම හොඳයි. ඔබේ ලිපි කියවීමට එන්නම්. මගේ බ්ලොගයේ අද එල්ලා ගන්නවා.

    ReplyDelete
  2. //යමක් ලියු පසු එය ලිව්වේ තමන් බව අමතක කර කියවා බැලිය හැකි නම් වඩා වටී.// පොල්කට්ටෙන් එපිටට එන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඊට කල එකතු කිරීමට.

      Delete
  3. ඔබ ආරම්භයේදීම ඉතා නිරවුල් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම පිලිබඳ ස්තූතිය. ඔබ දක්වා ඇති කරුණු එකින් එක නැවත මෙනෙහි කිරිමෙන් අද ලංකාවේ රූපවාහිණි සංවාදයන්හි ගැඹුර වටහා ගත හැකිවේ. මේ සංවාද ප්‍රශ්ණයක් උඩින් අතපත ගෑමක් හැර අන්දෙයක් නොවන බව වැටහේ. නමුත් මා ජීවත්වෙන රටේ එවන් සංවාද විශයානුබද්ධව පවත්වා ගෙන යාමටත්, මෙහෙයවන්නා සහ සම්පත් දායකයා ප්‍රේක්ෂකයා වෙහෙසට පත්නොවෙනා සහ නොකරනා අයුරින් පවත්වා ගෙන යයි. ඒ තුලින් ප්‍රේක්ෂකයාද දැණුම වර්ධනය කරගනී.

    මේවා මෙහෙම වෙන්නේ කිනම් අඩුපාඩුවක් නිසා දැයි නිතරම කල්පනා වේ.

    ඔබ දිගින් දිගටම සටහන් තබනු ඇතැයි සිතමි.

    ඔබේ බ්ලොගය මාතලන්ගේ සින්ඩිය අතුලු සින්ඩිකේටර්ස් වෙත යොමු කරන්න. අන් අයටද ඔබ කියවීමට ඉඩ ලැබේ.

    ඔබට බ්ලොග් ලිවීමට කල ආරාඪ්Hඅනයට ඔබ ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් නැවත ස්තූතිවන්ත වෙමි!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට සහ ඉයන් ට මුලින්ම. සමහර අපේ රුපවාහිනී නාලිකා වල වැඩසටහන් නිර්මාණය කරනන් සමහර විදේශීය නාලිකා නරඹනවාද කියත් සැකයි. ඒ නැරඹුවත් ඒවගෙන් අහුලා ගන්නේත් වැඩක්ම නැති මෙගා සංකල්පයක් තමයි හොද එව්වා පැත්තකට කරලා.

      එක මාර්ගයක අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම හමාර කරලා වෘත්තීයමය අනාගතය තීරණය කරන කඩයිමක තමයි මේදවස් වල මම ඉන්නේ. අපි ඉගෙන ගත් දේ හැකිපමනින් හුවමාරු කරගැනීම යුතුකම වෙනුවෙන් සිංහල විද්‍යා සගරාවකට වගේ එකකට යමක් ලියන්න හිතාගෙන ඉන්න ගමන් තමයි ඔබ බ්ලොග් ලියන්න යෝජනා කලේ. ඇත්තෙන්ම ඒ අනුව බ්ලොගය නිර්මාණය කලේ දවස් 2ක් වගේ කෙටි කාලයක සැලසුමකින්. වසර 2-3ක් පමණ ලිවීමේ දල සැලසුමක අනුව. බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව, තාක්ෂනය, පර්යේෂණ සහ එකී අංශ වල අධ්‍යාපනය සදහා වැඩිපුර ලියන්න. මගේම දේ වලින් පමණක් එය කිරීමට අපහසුයි. වෙන අය සමග කල දේවල් ලිවීමේදී ඇති විය හැකි තත්වයන් ගැන සලකා බලා තමයි එවැනි දේවල් ලියන්න ඉන්නේ. ඒ වගේම, මම බ්ලොග් සහ සින්ඩිකෙටර් ගැන දන්නේ ඉතාම අඩුවෙන්. ඒවගේ කොන්දේසි ගැන පොඩ්ඩක් සොයා බලා ඔබගේ යෝජනා කල යොමු කිරීම කරන්නම්.

      නැවත ස්තුත්යි ඔබට සහ ඉයන්ට.

      Delete
    2. මාතලන්ගේ සින්ඩියේ නම් මාතා දැනටම වැඩේ කරලා. අනිත් සින්ඩිවලට එකතුකිරීමේ ටෙක්නිකල් හෝ සම්ප්‍රදායික වැඩ පිලිවෙල මම දන්නේ නැහැ,

      Delete
    3. මමත් බ්ලොග් ගැන දන්නේ ඉතාම අඩුවෙන්.හදිසියේ හදපු නිසා වැඩිපුර කියවා සොයා බලන්න වුනේ නැහැ. ටිකක් හෙමින් කියවා බලන්නට ඕනේ.
      බොහොම ස්තුතියි ඔබේ ඉක්මන් ප්‍රතිචාරයට.

      Delete
  4. / ලිඛිත සංවාදයකදී නම්, ලිව්වේ තමන් බව අමතක කර නැවත කියවා කියවන්නාගේ පැත්තෙන් සිතා බැලීම පැහැදිලිව අදහස් හුවමාරුව සදහා හොද ක්‍රමයකි. /

    සීයට දෙසීයක් එකඟයි. තමන් ලියනදේ ලිව්වෙ තමන්ය කියල අමතක කරල අපක්ෂපාතීව කියවල බලන්ට හැකියාවක් තියෙනවනම් බොහොම වටිනව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහස දැක්වීමට.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ෆලෝවර් ගැජට්ටුව තිබුනේ නම් අද සිටම හඹා එන්නෙමි.දිගින් දිගටම නිතර ලියන්නේ නම් මැනැවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අරුණ සහ ඉයන් ගේ යෝජනාවකට අනුව බ්ලොගය නිර්මාණය කලේ දවස් 2ක් වගේ කෙටි කාලයක සැලසුමකින්. මේ සදුදා බ්ලොග් ලිවීමේ කිසිම අදහසක් නැතුව පටන් ගත්ත සතියක, සිකුරාදා වැඩ ඉවර කරලා ගෙදර යන්න කලින් බ්ලොග් එකක පටන් ගෙන අදහස් වලට පිලිතුරු ලියන්න වීමත් සැලසුම් නොකල සිද්දියක්. ඔය ගැජට් පොඩ්ඩක් වෙලාව ලැබුනම සොයලා එකතු කරගන්නම්. බොහොම ස්තුතියි ශුභ ප්‍රාර්ථනයට මෙන්ම ගැජට් ගැන කල යෝජනාවට.

      Delete
    2. එක් කලා. එත් හරිද මන්ද.

      Delete
  7. මෙය මෙහි පළ කලා.
    http://nelumyaya.com/?p=5696

    ReplyDelete
  8. ආහ්.. තවත් ඉකොනොමැට්ටෙක් වගේ.. ස්තූතිය....අවුල් මුනියට....

    ඔයාට වැරදිලා. සංවාද කියන්නේ අපි කියන එක අනිත් අය කට වහගෙන, ඔලුව උඩ පහල යවමින් අහගෙන ඉන්න එක සහ එහෙම ඉන්නැත්නම් කතා කරණ එකා කුණුහරුපෙන් බනින එක විතරයි.. හරිද !? :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉකොනොමැට්ටා බ්ලොගය වැඩිපුර කියවන්න වුනේ නැහැ තවම.

      එහෙමත් ඇත්තටම හිතන අය සමහර වෙලාවලට හම්බ වෙනවා. මම නම් වඩාත්ම කැමති අභියෝගාත්මක නමුත් අරුත් බර ප්‍රශ්න සමග ඇතිවෙන සංවාද වලට.

      Delete
  9. අරූ තමයි බ්ලොග් එකට පාර කියුවේ. පළමු ලිපියම විශිෂ්ටයි වගේම අපූරු බ්ලොග් එකක් වන බව නිසැකයි. සින්ඩිවල එල්ලෙන්න, කොමෙන්ට් වලට පිළිතුරු දමන්න, අනෙක් බ්ලොග්වල සංවාද වලට එකතුවන්න. දැනට ඔය මදෑ :)

    දීර්ඝ ගමනක් යාමට සුබ පතමි !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හොද ආරම්භයක් තිබීමෙන් හොද ගමනකට ලොකු ජවයක් ලැබෙන බව මම හිතන්නේ. සින්ඩි ගැන සහ ඒවායේ කොන්දේසි ගැන සොයා බලා ඔබ යෝජනා කල කටයුත්ත කරන්න ඕනේ.

      ඇත්තටම මම බ්ලොග් එකක් ආරම්භ කල බව පවසමින් ඉයන්ගේ බ්ලොග් එකේ දැම්ම කොමෙන්ටුව මගින් ඉතා ඉක්මනින් බොහෝ දෙනෙක් ඇවිත් කියවීමෙන්ම බ්ලොග් ලියන්නන්ගේ ශක්තිමත් ජාලය ගැන හිතාගන්නට පුළුවන්. ඇත්තටම අරු ට නැවත මම ස්තිතුවන්ත වෙනවා.

      Delete
  10. බොහොම පැහැදිලියි. දිගටම ලියන්න ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මට හැකිතරම් පැහැදිලිව ලිවීමයි මගෙත් ලොකුම වුවමනාව. හැකි පමණ වැඩිපුර ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

      Delete
  11. //වාචික සංවාද වලදී තවත් වැදගත්ම කරුණක්ම නම් ප්‍රශ්නය හරි හැටි පැහැදිලි නොවෙන විටදී ප්‍රශ්නය අනුමාන කර පිළිතුරු දීමයි//
    ප්‍රශ්නය තේරුම් ගිය නමුත් පිලිතුරක් නැති විට මොකක් හරි කීමද කරනු ලැබේ.

    පාරක් ඇහුවහම දන්නෙ නැතිවුනත් "උදව්"කරන අයද ඇත. :-D

    ReplyDelete
    Replies
    1. අරූ තමයි මෙතනට පාර කිව්වෙ.
      මිනිහට ලියන්න කිව්වහම මිනිහ අපිට කියවන්න දේවල් පෙන්නනව. ඒකත් සංවාද උපක්‍රමයක්ද කොහෙද

      Delete
    2. //මිනිහට ලියන්න කිව්වහම මිනිහ අපිට කියවන්න දේවල් පෙන්නනව. ඒකත් සංවාද උපක්‍රමයක්ද කොහෙද// +++++++++++++++++

      Delete
    3. ප්‍රා.......මචං කියවන්න දේවල් පෙන්නුවාම තමයි ලියන එවුන් ලියන්න පටන් ගන්නේ....කේස් එකක් තිබුනොත් තමයි නඩුවක් වැටෙන්නේ :D අපි නොදන්න සොලිසිටර්ස්ලා :D

      ඉස්සර උපහාසයට යමක් ලියලා ඔය කැපිටල් ඩී එක අන්තිමට දාන එක අපි නැවැත්තුවා. අහපන් බොරුනම් ඉන්දිකයාගෙන්. උපහාසයයි, අපහාසයයි මිනිස්සු හඳුණාගත යුතු නිසා. දැන් ඒක ආපහු දානවා, මේ දෙකේ වෙනස සමහර අය හඳුණන්නේ නැති නිසා. හැබැයි ප්‍රා..උඹ තරම් witty and humorous commentsදාන එකෙක් මම දැකලා නැහැ.:D

      Delete
    4. ප්‍රා.......මචං කියවන්න දේවල් පෙන්නුවාම තමයි ලියන එවුන් ලියන්න පටන් ගන්නේ....කේස් එකක් තිබුනොත් තමයි නඩුවක් වැටෙන්නේ :D අපි නොදන්න සොලිසිටර්ස්ලා :D

      ඉස්සර උපහාසයට යමක් ලියලා ඔය කැපිටල් ඩී එක අන්තිමට දාන එක අපි නැවැත්තුවා. අහපන් බොරුනම් ඉන්දිකයාගෙන්. උපහාසයයි, අපහාසයයි මිනිස්සු හඳුණාගත යුතු නිසා. දැන් ඒක ආපහු දානවා, මේ දෙකේ වෙනස සමහර අය හඳුණන්නේ නැති නිසා. හැබැයි ප්‍රා..උඹ තරම් witty and humorous commentsදාන එකෙක් මම දැකලා නැහැ.:D

      Delete
    5. බොහොම ස්තුතියි.

      //ප්‍රශ්නය තේරුම් ගිය නමුත් පිලිතුරක් නැති විට මොකක් හරි කීමද කරනු ලැබේ..//

      එවැනි ආකල්ප දුරු කරන්නම බැරි වුනත් අඩු කරන්නවත් පුළුවන් නම් එය වඩා කාර්යක්ෂම සමාජයකට හේතු වේවි.

      Delete
  12. ඔබේ අදහස් සමග එකඟයි.

    //මේ කරුණෙහි ලා, මා දුටු කණගාටුදායක ම සිදුවීම නම් 2014 ඔක්තෝබර් මස හෝ ඒ ආසන්නයේදී, දේශපාලන වැඩසටහනක නරබන්නෙකු ලෙස පැමිණි රජයේ විශ්වවිද්‍යාලයක උපකුලපති වරයෙකුද, ප්‍රශ්න ඇසීමට දුන් අවස්ථාවේදී අදහසක් ඉදිරිපත් කිරීමෙන් පසු, ඔබ අසන ප්‍රශ්නය කුමක්දැයි ඇසු විට, ප්‍රශ්නයක් ඇසීමට නොමැති බව පැවසීමයි. //

    ඔය කියන සාකච්ඡාවෙදි වූ සිද්ධිය මේකයි. සරසවි සිසු ප්‍රශ්න සම්බන්ධ මෙම සාකච්ඡාවට උපකුලපතිවරයා (ජ'පුර ද කොහෙද?) පැමිණ සිටියා. පක්ශ නියෝජනය කරමින් පාක්ශිකයනුත් සරසවි නියෝජයන කරමින් උපකුලපතිවරු දෙදෙනකුත් පමණ ඇවිත් හිටියා. මෙහිදී විජිත හේරත් ගෙන් ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාවක් දුන්විට එම උ.කු. ඉදිරිපත් වීමත් සමග විජිත හේරත් "ඔව් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් පැමිණි ජපුර උපකුලපතිට මම අවස්ථාව දෙනවා" යැයි කීම නිසා උග්‍ර ලෙස කෝපාවිශ්ට වූ ඔහු ප්‍රශ්නය නොඅසා මගහැරියා.

    මෙහිදී ඔවුන් දෙදෙනාම ඉතාම අපරිණත හැසිරීම් පෙන්වූවා. එදත් අදත් බොහෝ උපකුලපතිවරුන් පත්කරන්නේ අතිශය අගතිගාමී ලෙස දේශපාලන පත්වීම් ලෙස වීමත් කණගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ......මේ සිද්ධිය මට හොඳට මතකයි. උඹේ කමෙන්ට් එකට මම සීයට සීයක් එකඟයි!!!

      Delete
    2. සංවාද ගැන බලාපොරොත්තු වුනාට වැඩිය ගොඩක් හොද සංවාදයක් ඇති කිරීම ගැන AnonymousApril 29, 2016 at 3:37 AM ට ස්තුතියි.

      //පක්ශ නියෝජනය කරමින් පාක්ශිකයනුත් සරසවි නියෝජයන කරමින් උපකුලපතිවරු දෙදෙනකුත් පමණ ඇවිත් හිටියා. මෙහිදී විජිත හේරත් ගෙන් ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාවක් දුන්විට එම උ.කු. ඉදිරිපත් වීමත් සමග විජිත හේරත් "ඔව් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් පැමිණි ජපුර උපකුලපතිට මම අවස්ථාව දෙනවා" යැයි කීම නිසා උග්‍ර ලෙස කෝපාවිශ්ට වූ ඔහු ප්‍රශ්නය නොඅසා මගහැරියා.// සම්පූර්ණයෙන්ම එකග නැහැ.

      පහල තිබෙන්නේ ඒ වීඩියෝව සඳහා වූ සබැඳිය. එහි කාලය 1.10 බලන්න. අශෝක පැහැදිලි ලෙසම ලියන්නේ ජවිපෙ නියෝජනය කරමින් පැමිණි විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්නයක් අහන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පැමිණි පිර්සට අවස්ථාව ඇති බවයි. එවිට උපකුලපතිවරයා අත එසවීමෙන් ඔහු එම පක්ෂ දෙකෙන් එකක් නියෝජනය කරමින් පැමිණි බව පිලිගන්නවා. ඔහු එතනදී නියෝජනය කලේ විශ්විද්යාල නොවේ.
      http://www.maxsatv.com/maxsatv.com/watch/?v=66211

      //මෙහිදී ඔවුන් දෙදෙනාම ඉතාම අපරිණත හැසිරීම් පෙන්වූවා. // එකගයි.

      //උග්‍ර ලෙස කෝපාවිශ්ට වූ ඔහු ප්‍රශ්නය නොඅසා මගහැරියා.//
      ඇත්තටම මට මතු කරන්න ඕනේ වුනේ ඒක. සාකච්චාව විකාශනය වෙන්නේ ලක්ෂ ගණනක්වත් නරබන රුපවාහිනියේ නිසා, ඔහුගේ පුද්ගලික කෝපය වෙනුවෙන් නාස්ති කල කාලය මිනිස් පැය දහස් ගණනක් විය හැකියි. උපකුලපති වරයෙක් යනු යම් ක්ෂේස්ත්රයක ඉතා ඉහල මහාචාරයවරයෙක්. ගණිතය විශේෂ උපධිදාරියෙකු වෙන මන්ත්‍රීවරයාට සාපේක්ෂව ඉතා ඉහල පරිනත බවක් මම නම් උපකුලපති වරයාගෙන් අපේක්ෂා කරනවා. ඒක මගේ පුද්ගලික අපේක්ෂාවක් වුනත් එසේ නොවීම කණගාටුවක්. මන්ත්‍රී වරයාටත් මීට වඩා චුට්ටක් මෘදු වචන යොදා ගන්න තිබුන කියා සිතනවා.

      නැවත ස්තුතියි.

      Delete
    3. ////මන්ත්‍රී වරයාටත් මීට වඩා චුට්ටක් මෘදු වචන යොදා ගන්න තිබුන කියා සිතනවා.////////
      ඔව්.......සංවාදයක් යනු තර්කය මතම පීහිටා සිදුවෙන්නක් නම් විජිත හේරත් හරි. නමුත් පවතිනා වටපිටාව, කුලපතිවරයාව නැවත ප්‍රශ්න කිරීමකට ලක් කිරීමකට, විජිතට තිබු අවස්ථාව ඔහු තර්කය මත වාඩිවී මග හරවා ගත්තා. එයින් අපහසුවට සහ කාලය විනාශ කරගැනීමකට භාජනය වූයේ ප්‍රේක්ෂකයාවූ අපියි. මෙන්න මේක තමයි "මං හරි..මං පොර" යන මානසිකත්වයෙන් සංවාදවලට යන අපේ අය පිලිබඳ මට ඇති කනගාටුව. ඒ නිසාම ඒ උප කුලපති දේශපාලකයා උගුරට හොරා කසාය බීවා. ඒ අතින් බැලුවාම ලාල් කාන්ත වගේ අය තර්කය පසෙකලා, සන්දර්භය හඳුනාගන්නවා.

      Delete
    4. සංවාද කල යුත්තේ තමුන්ගේ මතය හරිය කියන නිගමනයේ ඉදගෙන නොවෙයි. සංවාද කරන්න ඕනේ විවුර්ත මනසකින්, තමුන්ගේ මතය වැරදිය කියල සංවාදයේදී පෙනුනොත් ඒ මතය නිවැරදි කරගන්න බලාපොරොත්තුවෙන්.

      ඒක තේරුම් නොගැනීමයි ඒ අවුලට මුල.

      Delete
  13. සරස තුමාටත් එන්න කියමු
    කොමෙන්ටුවක් දාන්න කියමු

    ReplyDelete
  14. මෙතනට එන්න පාර කිව්වේ අරුණ පෙරේරා. බොහොම හරවත් සංවාදයකට ඔබ මුලපුරා ඇතිබව පෙනෙනවා. ඉදිරියේදීත් එන්නම්.

    බ්ලොග් සින්ඩිකේටර් වෙත ගොස් බලන්න. ඒවාට ඔබේ බ්ලොග් එක ඇතුළු කරන හැටි, එතරම් සංකීර්ණ දෙයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම ඒ ගැන ඉක්මනින් බලන්නම්. අරුනටත් ස්තුතියි.

      Delete
  15. Replies
    1. ස්තුතියි අගය කිරීමට.

      Delete
  16. ඔබ කතා කරන්නෙ අපේ මොළයේ බොහොම සංකිර්ණ ක්‍රියාවලියක් පිලිබදව. කථනය , අනිත් කෙනාව තේරුන් ගැනිම, ගැලපෙන ලෙස සංවාදය මෙහෙය විම, අනිත් කෙනාට වෙනම ආකල්පයක් දැරිය හැකි බව, අවස්ථාව අනුව එකම දෙය වෙනස් විය හැකි බව සිතිම වැනි කරුනු වලත වග කිව යුතු මිනිස් මොලයෙ කොටස් වල සිදුවෙන වැඩිමෙ අසමානතා නිසා මෙ සන්වාදය කියන දෙය බොහොම සංකිර්ණ වෙනව. කෙනෙක් සමග සංවාදයකි මුලින්ම මෙන්න මේ මොලයෙ වැඩිම හරියාකරව සිදු වෙලා නැත්නම් ඒ සංවාදය පලක් ඇති එකක් බවට පත් කර ගන්න තියෙන්නෙ බොහොම අඩු ඉඩක්. මං හිතන විදිහට සන්වාදය්ට කලින් ඒ හා බැදුනු ජිව විදය්‍යාමථක දැනුම රැස් කිරිම හරිම වැදගත් කියලයි. එතනදි අපිට හැකි වෙනව සාර්ථක සංවාදයක් ගෙනියන්න අපේ දැක්කම කොයි තරමක් වෙනස් විය යුතුද කියන දෙ අත් දකින්න... thoery of mind ගන පොඩ්ඩක් හොයල බලන්න. මේ ගැන මං පසුව විස්තර සහිත්ව ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. සංවාද ගැන ජීව විද්‍යාත්මක සහ ස්නසාවේදීය(neurological) පදනම් ගැන විස්තර සහිතව ඔබ ලියන්න. මමත් බොහොම කැමති කියවන්න. Mild autism conditions තිබිය හැකි යයි කියන අය සමග මම වැඩ කරනවා. එවැනි අවස්ථාවලදී මේ ජීව විද්‍යාත්මක සහ ස්නසාවේදීය පදනම් ගැන තරමක් වත් මට ඉගෙන ගත හැකි නම් වටිනවා අපේ සංවාද පහසු කරගැනීමට.

      Delete
    2. පුලුවන් විදිහට වෙලාව හොයාගෙන ලියන්නම්. Autism හෝ වෙන මොනයම් හෝ සන්නිවේදන අපසුත අති අයත් එක්ක ගැවසෙද්දි තියෙන්නම ඔන ඉවසමයි , නොකඩවා එකම ක්‍රමවෙදයකට හැසිරිමයි.. මෙහි එන ඉවසීම සරල නම් නැ. මේ වෙලාවෙ එය යාන්තමින් හරි පහදන්න මතකයත එන එකම උදාහරණය තමයි බුදුදහමෙ කියවෙන මෙත්තා සමඟ ඉවසිම.

      Delete
    3. නිම්නය......ඕටිසම් දරුවන් ඉන්නා පවුල් දෙක තුනක් මම දන්නවා. ඊයේත් එවැනි දරුවෙක් සමග පවුලක් මට හමුවුනා. ඔබ කියු පරිදිම මේ වෙනුවෙන් කලයුතු කැපකිරීම ඉතා විශාලයි. මේ දරුවන්ගේ හැසිරීම් රටාව දෙමව්පියන් හැර අන් අය නොදන්නේ නම්, ඒ දෙස බලන්නේත් වැරදි ඇසකින්. ඒ දරුවන්ගේ නොඉවසිලි හැසිරීම් රටාව නිසා සමහරුන් දෙමව්පියන් දෙස බලන්නෙත් නොමනා අයුරින්. එය ඉතා කනගාටුදායකයි. මොවුන් ඕටිස්ම් තත්වයේ දරුවන් යැයි අන් අයට පහදා දීම දෙමව්පියන්ගේද වගකීමයි.

      ඊයේ මට අපූරු දවසක්. වෙනත් රෝගි තත්වයක සිටින ලෙස් ඒබ්ල් කුඩා දරුවෙකුත් මට මුන ගැසුනා. ඔහු හා මට මිත්‍රවීමට ලැබීම මටත් ඔහුටත් සතුටක්. හොඳම දේ ලැබිය යුත්තේ දරුවන්ට යැයි කීවත් එය පොදුවේ සිදුවෙනවාද යන්න ගැන සිතමි.

      Delete
    4. නිම්නය......ඕටිසම් දරුවන් ඉන්නා පවුල් දෙක තුනක් මම දන්නවා. ඊයේත් එවැනි දරුවෙක් සමග පවුලක් මට හමුවුනා. ඔබ කියු පරිදිම මේ වෙනුවෙන් කලයුතු කැපකිරීම ඉතා විශාලයි. මේ දරුවන්ගේ හැසිරීම් රටාව දෙමව්පියන් හැර අන් අය නොදන්නේ නම්, ඒ දෙස බලන්නේත් වැරදි ඇසකින්. ඒ දරුවන්ගේ නොඉවසිලි හැසිරීම් රටාව නිසා සමහරුන් දෙමව්පියන් දෙස බලන්නෙත් නොමනා අයුරින්. එය ඉතා කනගාටුදායකයි. මොවුන් ඕටිස්ම් තත්වයේ දරුවන් යැයි අන් අයට පහදා දීම දෙමව්පියන්ගේද වගකීමයි.

      ඊයේ මට අපූරු දවසක්. වෙනත් රෝගි තත්වයක සිටින ලෙස් ඒබ්ල් කුඩා දරුවෙකුත් මට මුන ගැසුනා. ඔහු හා මට මිත්‍රවීමට ලැබීම මටත් ඔහුටත් සතුටක්. හොඳම දේ ලැබිය යුත්තේ දරුවන්ට යැයි කීවත් එය පොදුවේ සිදුවෙනවාද යන්න ගැන සිතමි.

      Delete
    5. ඔව් අරුන. මේ දරුවන් වෙනුවෙන් කලයුතු කැපවිම අති මහත්. ඔබ කිව්වා වගේම දෙමාපියන්ගෙ වගකිමක් නොසඟවා දරුවන් ගැන අන් අයටත් පැවසිම, දැනුවත් කිරිම. නමුත් ඒක අපි හිතන තරන් පහසු දෙයක් නෙමේ. මොකද දෙමව්පියන් ඉන්නෙත් මානසිකව විඩාබර වෙලා. මට හිතෙනවා සමාජයක් විදිහට අපි හැමෝටම වගකිමක් තියනවා මේ වගෙ දෙවල් ගැන තමන් විසින්ම දැනුවත් වෙන්න..
      ඒ වගේම මේ දරුවන්ට නියමිත විදිහට පරිසරය හදලා නියමිත ක්‍රියාකාරකම් කලාම ඔවුන් ඔබව පුදුමයට පත් කරන දස්කම් පෙන්වනවා..හැම කලු වළාකුලකම රිදි රේඛාවක් තියනවා කියන දේ හරිම සන්වේදීව අත් දකින්න පුලුවන් තැනක්. ඔබ කිව්වා වගේම දරුවන්ට හොදම දේ ලැබෙනව ද කියන එක නම් ප්‍රශ්නාර්ථයක් තමා බොහෝ තැන් වල....

      Delete
  17. තවත් ඉකොනොමැට්ටෙකුගේ (නැනෝමැට්ටෙක්ද කොහෙද )ආගමනයක්. ඔබේ බ්ලොගයත් ඉකොනොමැට්ටාගේ බ්ලොග් මෙන්ම බ්ලොග් අවකාශයේ ලොකු හිදැසක් පුරවන්න සූදානම් බව පේනවා. සතුටුයි වටින යමක් කියවන්න ලැබෙනවට. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීමට. මේ වනවිට ඉකොනෝගේ සහ මගේ ගමන් මාර්ග අතර වෙනස පැහැදිලි වී ඇති නිසා ඒ ගැන කියන්න අවශ්‍ය නැතිව ඇති.

      බ්ලොග් යනු සංස්කාරකවරයෙකු පාලන නොකරන මාධ්‍යයකි. එහෙයින්, ආතර් සී ක්ලක් මහතා කියුවා මෙන්ම; මමද ලියන්නේ මම දකිනා දේ අතුරින් සමාජයට පැවසීමට යහපත් යයි සිතෙනා දේ පමණක් බව කීමට සතුටුයි.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.