Saturday, April 30, 2016

නැනෝවිද්‍යාව සහ නැනෝතාක්ෂණය
Nanoscience and Nanotechnology


01. නැනෝතාක්ෂ ගැන සිංහලෙන් ලිවීමේ අවශ්‍යතාවය.


නැනෝතාක්ෂය යන වචනය ශ්‍රීලංකාව තුල බොහෝ සෙයින් භාවිත වන වචනයකි. එසේ වුවද වැඩිදෙනාගේ ඒ පිළිබඳව දැනුම දල අදහසකට සීමා වේ. සමහර කෙනෙකුට ඇත්තේ මේ ගැන විකුර්ති දැනුමකි. මම කොළඹට පැමිණි අවස්ථාවකදී කතා කරමින් යන ගමන් එක කුලී රථ රියදුරෙකු ඇසුවේ නැනෝතාක්ෂනය යනු "නැනෝ කාරය" සම්බන්ධ තාක්ෂනයක්ද යන්න යි. නැනෝතාක්ෂය නිනිති තාක්ෂණය ලෙසද අධ්‍යපන දෙපාර්තමේන්තුවේ සමහර පොත්වල තිබුන බවද මට මතකයක් ඇත. එසේ වුවද මම වඩා කැමති "නැනෝ" වචනයට මිස "නිනිති" යන වචනයට නොවේ. එය හුදෙක් පුද්ගලික කැමැත්තකි. 

ඇත්ත වශයෙන්ම නැනෝවිද්‍යාව සහ නැනෝතාක්ෂණය කුමකැයි නිර්වචනය සඳහා නිවැරදි සම්මත අර්ථදැක්වීම් සොයා ගැනීම ඉතා අසීරුය. මගේ අධ්‍යාපන කටයුතුවලදී අත්‍යවශ්‍ය වූ නිසා ඉතා වෙහෙස වී මේ ගැන සොයන්නට සිදු විය. ඇත්තෙන්ම නැනෝපරිමාණය, නැනෝවිද්‍යාව, නැනෝතාක්ෂනය, නැනෝ ද්‍රව්‍ය, නැනෝ අංශු, නැනෝ සංයුක්ත, සහ නැනෝ ව්‍යුහ යන පද වලට වඩාත්ම පැහැදිලි නිර්වචන ලබාදී තිබෙන්නේ 2006 දී යුරෝපා කොමිසම මගින් නිකුත් කල ලියවිල්ලකිනි. ඒ ලියවිල්ල "මතුවෙමින් පවතින සහ අලුතෙන් සොයා ගන්න ලද සෞක්‍යම අවදානම් තත්වයන් සදහා වූ කමිටුව" 2006 මාර්තු 17 වැනිදා බ්‍රසල්ස් නුවර දී කල සාකච්චාවන් අනුව ඉදිර්පත් කළ එකකි. එම ලියවිල්ලෙදී සඳහා එක්සත් රාජධානියේ ඇති රාජකීය විද්‍යා සංගමය සහ රාජකීය ඉංජිනේරු ඇකඩමිය ලබාදුන් නිර්දේශ සලකා බලා තිබුණි. 2011 ඔක්තෝබර් 18 දින බ්‍රසල්ස් නුවරදීම මෙම කමිටුව නැවත රැස්වී මෙම නිර්දේශ යම් පමණකින් සංශෝධනය කර ඉදිරිපත් කරන ලදී.

එසේ සංශෝධනය කිරීමෙන් පසුව අදටත් වලංගුවන නිර්වචන (මගේ දැනුම අනුව පරිවර්තනය කලවිට)  පහත දැක්විය හැකිය.

නැනෝපරිමාණය: (දිග පළල උස ත්‍රිමාණයෙන් ) අඩුම වශයෙන් එක මානයකවත් නැනෝමීටර් 100 ක් හෝ ඊට අඩුව ඇති වීම වේ.

නැනෝ විද්‍යාව: විශාල පරිමානයේ ද්‍රව්‍ය වලට වඩා බොහෝ සෙයින් වෙනස් ගතිගුණ දක්වන්නා වූ පරමාණුක, අණුක, සහ විශාල අණුක පරිමාණයන් හි ඇති ද්‍රව්‍ය මෙහෙයවීම සහ ඒකී ප්‍රපංචයන් අධ්‍යනය කිරීම වේ.

නැනෝතාක්ෂනය: නැනෝපරිමාණයේ දී විශාලත්වය සහ හැඩය පාලනය කරමින්, ව්‍යුහයන් සහ උපකරණයන් සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම, සහ ඒවායේ ගති ලක්ෂණ විදහා පෙන්වීම වේ.

නැනෝ ද්‍රව්‍ය (2011 සංශෝධිත): විවිධ පරිමාණයේ ද්‍රව්‍ය පවතින ව්යාප්තියක (ඇති ද්‍රවය වලින්) 50% ක ප්‍රමාණයක්වත්; අඩුම ගන්නේ එක බාහිර මානයකවත් නැනෝමීටර් 1–100 අතර පවතින්නාවූ ද, ඒකරාශී වී හෝ පිණ්ඩයක් ලෙස හෝ නොබැදුණු අංශු ලෙස හෝ  පවතින්නා වු ද, ස්භාවික හෝ ආගන්තුක හෝ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍ය වේ. 

නැනෝසංයුක්ත: සංයුක්තයේ අඩංගු වන පාර්ශවයන්ගෙන් අඩුම ගන්නේ එක පාර්ශවයක්වත් නැනෝ ද්‍රව්‍ය වන සංයුක්ත වේ.

නැනෝව්‍යුහ: නැනෝ පරිමාණයේ ඇති ව්‍යුහ වේ.



ඇත්තෙන්ම විශාල කාලයක් මිඩංගු කර ලියුවත් මෙවැනි විද්යාත්මක තාක්ෂණික කරුණු, වෙනත් ක්ෂේත්‍ර වල නියැලුණු වෘත්තිකයන්ට හෝ සමනය ජනතාවට පහසුවෙන් පැහැදිලි කිරීම පහසු නොවේ. ඔවුන්ට කෙසේ හෝ අවබෝධ කල ද එයින් ඔවුන් පිනවීමට සමත් වන්නේ ඉතා කලාතුරකිනි. ඊට පැහැදිලි රූපමය නිරූපණයන් ඉදිරිපත් කරමින් මහත් වෙහෙසක් ගත යුතුය. 

අනෙක් අතට ගත් කල, මම තරුණ විද්‍යාඥයෙක් මි. අධික මිලක් වැය වන  අපගේ පර්යේෂණ සදහා අරමුදල් ලැබෙන්නේ සමාගම් හෝ මහජන බදු මුදල් වලිනි. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා අරමුදල් ලැබීම ඉතාම පහල මට්ටමක පවතින බව මම දනිමි. එහෙත් ඉදිරි වසර හෝ දෙක තුලදී මම නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැනෝ තාක්ෂණ පර්යේෂණ කිරීමටද බලාපොරොත්තු වෙමි. ලංකාවේදී ලැබෙන පර්යේෂණ අරමුදල් ගැන දොස් කියන බොහෝ පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ මහජනතාවට අවබෝධ කර දීමට වෙහෙස වන්නේ නැත. සමහර පර්යේෂකයන් සිතන්නේ මහජනයාට ඔවුන්ගේ පර්යේෂණවල වැදගත් කමක් නොතේරුනද, මහජන අරමුදල් තමාට ලැබිය යුතුම බවයි. මම ඊට එකඟ නොවෙමි.

පර්යේෂකයෙකු වශයෙන් මම මගේ පර්යේෂණ ක්සේස්ත්‍රය ගැන සිංහලෙන් ලියන්නට ආසන්නම හේතුව මෙයයි. මම විශ්වාස කරන්නේ අරමුදල් වැඩිපුර ලබා ගැනීමට නම් මගේ පර්යේෂණ සහ ඒවායෙන් මහජනතාවට හෝ යම් සමාගමකට හෝ ලැබෙන ප්‍රතිලාභ සරල බසින් ඔවුනට පැහැදිලි කරදී අරමුදල් ලබාගත යුතුය යන්නයි. එමෙන්ම ඒ බලාපොරොත්තු මත අපට ලැබෙන පර්යේෂණ අරමුදලින් පර්යේෂණ හරි හැටි කැපවීමෙන් සිදුකර මහජන ජීවිත හෝ එකී සමාගම් යන්තම් හෝ ඔසවා තැබීමට විශාල වගකීමක් තිබේ. එකී බලාපොරොත්තු ඉටු නොවන්නේ නම් අරමුදල් බලපොරොත්තු වීම සාධාරණ යයි මම නොසිතමි. මෙසේ, හැකිපමනින් මගේ ක්ෂේත්‍රය ගැන අන් අයට විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

මගේ බලාපොරොත්තුව නැනෝ තාක්ෂණ  පර්යේෂණ සදහා ලෝකයේ මිනිසුන් ලබාදෙන මුදලින් පර්යේෂකයන් ලොවට කරන්නේ මොනවාදැයි කිහිප දෙනෙකුට හෝ මට හැකිපමණින් පහසු අවබෝධයක්  ලබා දීමයි.     

මෙතැන් පටන්, පැහැදිලි රූපමය නිරූපණයන් සමග නැනෝතාක්ෂණය සැකෙවින් සෙමෙන් ඉගෙන ගැනීමට මා සමග එක්වන ලෙස ඔබට ආරාධනා කරමි.  

(පින්තුර අන්තර්ජාලයෙනි.)

21 comments:

  1. හොඳ ආරම්භයක්! සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මගේ මුල්ම සිංහල ලියවිල්ල වුන "සංවාද" ගැන ලියවිල්ලේ ඔබේ ගැන "සෙන්නා" බ්ලොග් ලියන්නා සදහන් කළා. ඔබේ බ්ලොගය මම කියෙව්වා. ආර්ථික විද්‍යාව ඉගෙන නැති මම වැනි අයෙකුට එය වැදගත් වන බවක් දුටුවා. අපි සංවාද කරමු. බ්ලොග් ලිවීමෙන් මම නොදන්නා දේවල් මතුපිටින් හෝ දැනගැනීමට හැකි වෙනු ඇතියි සිතමි. අපටත් ආර්ථික විද්‍යාව ටිකක් කියා දෙන්න්නේ නම් බොහෝ වටී.

      Delete
    2. ඉඩක් ලැබෙන පරිදි ඉකොන්ගේ ලිපි සියල්ල කියවන්න. ඔබේ කාලය අපතේ නොගිය බව වැටහේවි!

      Delete
  2. මටද මීට පෙර නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ලියන ලද කෙටි සටහනක් කියවන්නට ලැබුණී.එහිදී මා දැනගත්තේ නැනෝ අංශු ඉතා කුඩා ඒකකයක් බවත් නැනෝ තාක්ෂනය මගින් සියලු අංශයන්ගෙන් වඩාත් ඵලදායි සේවයක් ලබා ගතහැකිය යන්නය.උදාහරණයක් ලෙස අපි අදින ඇදුමකට නැනෝ අංශු තැවරීමෙන් ඒවායේ ඇති විෂබීජ විනාශ වී යාම සිදුවන බවයි.එමෙන්ම යහපත් මෙන්ම අයහපත උදෙසාද මෙය යොදා ගතහැකි බව මෙයින් පෙන්නුම් කරයි.

    ReplyDelete
    Replies
    1. ඔවු. නැනෝමීටරයක් යනු මීටරයකින් 1000000000 න් පංගුවකි. නැනෝද්‍රව්‍ය ලෙස සැකෙවින් හදුන්වන්නේ නැනෝමීටර 1-100 සීමාවේ ප්‍රමාණයේ දර්ව්‍යයි. ඔබ කියවා ඇති සටහන කෙටි වුවත් ඒ ලිවූ අය ඔබට හොද දැනුමක් කෙටියෙන් සපයා දීමට සමත් වී ඇත්තෙකි.

      නැනෝතාක්ෂණයේ යෙදීම් ගැනත් එහි විද්‍යාත්මක පසුබිම ගැනත් ටික ටික අපි හෙමින් කතා කරමු.

      ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.

      Delete
  3. ඔබ මෙන් බොහෝ දෙනෙක්ට තමන් පුහුණුවක් ලබා ඇති ක්ෂේත්‍ර පිළිබඳ දැනුම සමාජගත කළ හැකිනම් එමඟින් සමාජයේ දියුණුවට විශාල කාර්ය භාරයක් කළ හැකිවාක් මෙන්ම දැනුම සඳහා ඇති ඉල්ලුමට නිසි දිශානතියක් ලැබෙනවා. (මේ දේ කරන වෙනත් අයවත් මා අගය කරනවා) මිථ්‍යාව දැනුම ලෙස සමාජගත වන්නේ දැනුම සඳහා වන ඉල්ලුම සහ සැපයුම අතර ඇති පරතරය නිසා. දැනුම නිර්මාණය කිරීමේ මිල සමාජයෙන් අය කරගන්නනම් එහි වටිනාකම පැහැදිලි කිරීමට පර්යේෂකයෙකුට හැකි විය යුතුයි. අනෙක් අතට, තමන් කරන කාර්යයේ වැදගත්කම හොඳින් පැහැදිලි කළ හැකිනම් ඒ සඳහා සම්පත් දායකයින් සොයාගැනීම අපහසු කරුණක් වේයැයි මා සිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අද කාලේ අයිසැක් නිවුටන්ගේ කාලේ නොවෙයි. හොද ජර්නලයකට පත්‍රිකාවක් දීමට වුවත් රූපමය නිරූපනයන් අත්‍යවශ්‍යයි. මේ විද්‍යාව සාමාන්‍ය එදිනෙදා දෙයක් වන කාලයයි. නමුත් තවම සමහර පර්යේෂකයන් නිවුටන්ගේ කාලයේ ජීවත් වීමට සිතීම තමයි මේ හිර වීමට හේතුව. අනෙක තමයි ක්ෂේස්ත්රයේ අපි-අපිට සාකච්චා කර පිළිගැනීමට තරම් දැනුම අප සතු වුනත් ඒ දැනුම සාමාන්‍ය ජනයාට ගෙනයාමට තරම් දැනුමක් අපට නැතිවීම.

      මේ බ්ලොග් ලිවීම මට අහම්බෙන් ලැබුන යෝජනාවක් නිසා වුන දෙයක්. ඉතින් මම උත්සහ කරනවා මම දන්නා තරමින් මට හැකි පමණින් හොදම දේ කියවන්නාට දීමට. අපට ඔබෙනුත් බොහෝ දේ ඉගෙනගත හැකියි. ඔබේ භෞතික විද්‍යා දැනුම ඉහල බවයි පෙනෙන්නේ. නැනෝ තාක්ෂණය ගැන අප ලියන දේට භෞතික විද්‍යාව පැත්තෙන් එන විවේචන අපේ පාර වඩාත් සුමට කරාවි.

      Delete
  4. ඇත්තටම මේ උත්සාහය අගය කල යුතුයි. මම ග්‍රීක් යැයි කියා සිතු දෙයක් මෙලෙස සරල සිංහලෙන් පහදාදීම වටිනවා.නැනෝ ගැන මෙහෙමවත් පොඩ්ඩක් දැණගත්ත එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අපි බොහොම සරල කරලා කතා කරමු අරුණ මේ නැනෝ ගැන.

      ඔබ මගේ මගේ මේ කඩිනමින් ආරම්භ කල බ්ලොගය ගැන බොහෝ දෙනෙකුට රෙකමදාරු කල බවක් තමයි දැනගන්නට ලැබුනේ. ඇත්තෙන්ම ඔබේ රෙකමදාරුව මත මම ලියු පළමු දේ කියවන්න පැමිණි සංඛ්‍යාව බොහෝ වූ නිසා ඊට ගරු කිරීමක් වශයෙන් තමයි ඉක්මනින්ම දෙවැනි ලියමන දැම්මේ.

      ඇත්තෙන්ම මම විද්‍යාවට එන්න සැලසුම් කරලා තිබුනේ මාස කිහිපයක් ලිව්වෙමෙන් පසුවයි. නමුත් බලාපොරොත්තු වුනාට වැඩිය දෙනෙක් කියවපු බව පෙනුන නිසා කෙලින්ම කතාවට බහින්නයි හිතුවේ. මෙතැන් සිට ඇත්තේ සීරුවෙන් හෙමින් පසු කලයුතු බාධකයක් බවයි පෙනෙන්නේ. එහෙමනනම් සහෘද්දයා අපි නැනෝ ගැන වචන වලට වැඩිය රූප වලින් කතා කරන්න බලමු ඊලග වතාවේ. ඇත්තෙන්ම නැනෝ ගැන ලියන්න ඕනේ මොකද කියන එක ගැන කිව්වා මිසක් නැනෝ ගැන කතා කරන්න හදන්න ඕනේ වටපිටාව වත් තවම හදන්න බැරි වුනා. ඔබේ රෙකමදාරුව වෙනුවෙන් මට කල හැකි උපරිම සාධාරණය කරන්න මම උත්සහ කරන්නම්.

      Delete
    2. බ්ලොග්ස් කියවන්නන්ට කියවීමට ඇති බ්ලොග්ස් ප්‍රමානය අධික නිසා, ඔබ කාලය මිඩංගු කර නිදහසේ රිසිසේ ලියාගෙන යන්න.

      Delete
  5. මමත් බොහොම දැනගන්න ආස විෂයක්... බලමු....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ ගෙවල් වලට ගිහින් ටියුෂන් කිරීමෙන් මම ලබපු අත්දැකීමෙන් මේකට හොද ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවිය කියල මම හිතනවා. අරුණ කිව්වා වගේ බ්ලොග් කියවන්නන්ට කියවීමට ඇති බ්ලොග්ස් ප්‍රමානය අධික නිසා, හෙමින් පොඩ්ඩ පොඩ්ඩ ලිවීම හොද වේවි යයි සිතුවේ.

      Delete
  6. Go slow steady unbreakable unstoppable journey.. in life we don't need to too quick or too slow for anything. I have a simple 5 step method to achieve any goal that I learned when doing a job as a software analysis programmer.. plan , organise, implement, control checks, revisit plan , goal.

    ReplyDelete
  7. නැනෝ එන්න හේතුව???

    ReplyDelete
    Replies
    1. ටිකක දිග පිළිතුරක් ලිවිය යුතු ප්‍රශ්නයක් වගේ පෙන්නේ. එත් ඔබේ ප්‍රශ්නය මට ටිකක් පැහැදිලි මදි මිත්‍රයා. තව ටිකක් පැහැදිලි කරනවා නම් හැකි පමණින් පැහැදිලි පිළිතුරක් ලියන්න පුළුවන් වේවි.

      Delete
  8. නැනෝ ටෙක්නොලොජි ගැන sci-fi එකක් කියෙව්වා ටිකක් ඉස්සර. මතක විදිහට ancient south American civilization එකකුත් සමග. ප්‍රශ්න ගොඩක් තිබුනා අහන්න ඒකාලෙ. දැන් මතක නෑ

    ReplyDelete
    Replies
    1. නැනෝද්‍රව්‍ය ක්‍රිස්තු පූර්ව 600 වගේ කාලේ සිට ලෝකයේ නොයෙක් තැන් වල යොදාගෙන ඇතිබවයි මතක.

      Delete
  9. බොහෝම අපූරු ආරම්භයක්. කලබල නැතුව සංයමයෙන් දිගටම ලියමු. වෘත්තිය නිසා නැනෝ ගැන අවබෝධයක් තිබෙනවා. පළමු ලිපියෙන්ම පැහැදිලි අනන්‍යතාවයක් ගොඩනගාගෙන තිබීම සතුටුයි. ජය පතමි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. නැනෝ ගැන අවබෝධය තිබෙන ඔබ වැනි අයගේ සහය අත්‍යවශ්‍ය වේවි අපේ කතාවට. සාමන්යෙන් අපි මෙව්වා ගැන සංවාද කරන්නේ ක්ෂේත්‍රයේ ඉන්න හෝ ඊට සම්බන්ධ අය එක්ක නිසා, ඊට වෙනස් ක්ෂේස්ත්‍ර වල ඉන්න අයට සිතෙන විදිය එක වරම සිතාගන්න අපහසුයි. නමුත් සාර්ථක සංවාදෙකට එය තමයි මුලික වෙන්නේ. ඉතින් මේ කාරණාවේදී අපිට වරදින තැන් ඔබේ අවබෝධයත් එක්ක එකතුකරලා පෙන්නලා දෙන්න පුළුවන් නම් එය මට ලොකු වාසියක් වේවි.

      කලබලයක් නැති වුනත් මම දැනට සිටින ජපානයේ, ස්වර්ණමය සති (golden week) නිවාඩු කාලයයි මේ ගෙවෙන්නේ. එ නිසා මෙදින වල මේගැන සිතන්න වැඩි වෙලාවක් යොමු කරන්න පුළුවන්කමේ වාසිය ලබාගන්න තමයි උත්සහ කලේ.

      Delete
  10. හොඳ ලිපියක්.. මේ විෂය ගැන සිංහලෙන් කියවන්න තියෙන දේවල් හරිම අඩු නිසා පුළුවන් තරම් ලියන්න..

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.