Tuesday, May 24, 2016

හිරෝෂිමා සහ ජනපති ඔබාමා

පසුබිම


ජපානයේ බටහිර ප්‍රදේශයේ පිහිටි හිරෝෂිමා නගරය මේ දිනවල වැඩිලෙස කතාබහට ලක්වන්නේ 2016 මැයි මස 27 වෙනි දින G-7 සමුළුව අවසානයේ සිදුවීමට නියමිත ජනපති ඔබාමාගේ සංචාරය හේතුවෙනි. 2016 මැයි 26 දින සිට 27 දින දක්වා G-7 සමුළුව ජපානයේ මියේ ප්‍රදේශයේ ඉසේ-ෂිමා හිදී පැවැත්වීමට නියමිතව ඇත. අපේ රටේ ජනපති මයිත්‍රීපාල ද මෙම සමුළුවට විශේෂ ආරාධනයක් ලබාසිටින බව කියවේ. ජනපති ඔබාමාගේ හිරෝෂිමා සංචාරය ලෝකයට වැදගත් සිදුවීමක් වන්නේ 1945 අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමා නගරයට ඇමෙරිකානු හමුදාව විසින් පරමාණු බෝම්බයක් හෙලීමෙන් පසු ධුරයේ සිටින ඇමෙරිකානු ජනපතිවරයෙක් එහි සංචාරය කරන මුල්ම වතාව වීමයි.

මේ සංචාරය අතතුරදී ජනපති ඔබාමා ඇමෙරිකාව විසින් එල්ල කරන ලද පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන සමාව ඉල්ලීමක් සිදුනොවනු ඇති බව ඇමෙරිකානු ආරංචිමාර්ග සඳහන් කරයි. ඔබාමා NHK නාලිකාව සමග සාකච්චාවේදී පැවසුවේ, යුද්ධයක් මැද්දේ දී නායකයන් සියලු වර්ගවල තීරණ ගන්නා බවත් ප්‍රශ්න අසමින් ඒවා විභාග කිරීම ඉතිහාසකරුවන්ට අයත් වැඩක් බවත්ය. තවදුරටත්, නායකයන් හට අසීරු තීරණ ගැනීමට සිදුවෙන බවත්, එය යුධ අවස්ථාවකදී විශේෂයෙන්ම සිදුවන බවත් අවුරුදු හත හමාරක් ධුරයේ සිටි ජනපතිවරයෙක් වශයෙන් තමන් එය හොදින් දන්නා බවත් ඔහු පැවසුවේය. අනෙක් අතට ගත් කල, 2009 වසරේ අප්‍රේල් 5 වෙනිදා සිදුකල ජනපති ඔබාමාගේ චෙක් ජනරජයේ පර්හා නුවර සංචාරයදී න්‍යෂ්ඨික අවිහරණය සහ නයෂ්ඨික ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් අතට වීම වැලක්වීම ගැන ඔහු  ඉතා වැදගත් කතාවක් කළේය. ජනපති ඔබාමා හිරෝෂිමා හි දීත් නය්ෂ්ඨික අවිහරණය ගැන එවැනි වැදගත් කතාවක් කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් බලාපොරොත්තු වේ.

ජනපති ඔබාමාගේ හිරෝෂිමා සංචාරය මෙන්ම ජපානය සහ එක්සත් ජනපදය අතර මිත්‍රත්වය ඉහල යාම අගමැති අබේගේ පරිපාලනයට ඉතා වාසිදායක වනු ඇති බවට බොහෝ දෙනා අනාවැකි පල කළහ. ඇත්තෙන්ම අගමැති අබේගේ පරිපාලනය වොෂින්ටනය සමග ඉතා හොද සම්බන්දතාවයක් තිබු බව මාධ්‍ය සදහන් කරයි. ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය පිළිපදිමින් ලෝක සාමය පවත්වාගෙන යාමට දැක්වූ දායකත්වයට මුළු මහත් ජපන් ජනතාවම 2015 වසරේ නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වූ ඔබ දන්නවා ඇති. කෙසේ වෙතත් අන්තර්ජාතික දේශපාලනයේ ක්‍රියාකාරීත්වය ගැන පෙන්වමින් 2015 නොබෙල්  සාම ත්‍යාගය හිමිවුයේ ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය අයිතිය ගැන බ්ලොග් ලිපි ලිවීම නිසා ඝාතන ඉලක්කයක් වී දිවිබේරාගත් මලලා යුසුෆ් සහ තවත් අයෙකුටයි. පසුව ඉහත කී වගන්තියට වෙනත් අර්ථකතයක් දෙමින්, වෙනත් රටක යුධමය තත්වයක දී ජපානයට මැදිහත්වීමේ හැකියාව ගැන කතා බහට ලක්වුණි. මීට විරුද්ධව ජපන් ජනතාව විරෝධතාවයන් දැක්වුව නමුත් එකී ආරක්ෂක ශීර්ෂයන් 2015 සැප්තැම්බර් මාසයේදී ඉහල මන්ත්‍රණ සභාවෙන් අනුමත විය. ඒ අනුව මිත්‍ර පාර්ශවයික රටක සිදුවන ගැටුමකදී සීමා සහිත මැදිහත් වීමක් කිරීමට ජපන් ස්වයං ආරක්ෂක බලකායට හැකියාව ලැබෙන බව CNN ප්‍රකාශ කර තිබේ. මෙය අගමැති අබේ සහ වොෂින්ටනය අතර සම්බන්දතාවය වැඩිකර ගැනීමේ පියවරක් ලෙස ජපන් මාධ්‍යය වාර්තා එකල වාර්තා කළහ. මේ අනුව ජනපති ඔබාමාගේ හිරෝෂිමා සංචාරය අගමැති අබේගේ පරිපාලනයට ඉතා යහපත් වනු ඇතියි බලාපොරොත්තුවක් තිබුණි. 

කෙසේ වෙතත් ඔකිනාවා පිහිටි සුප්‍රසිද්ධ ඇමෙරිකානු හමුදා කඳවුරේ සේවය කල ඇමෙරිකානු ජාතික (හිටපු) සෙබලෙක් ඔකිනාවා තරුණියක දුෂණය කර මරාදැමීමට හෝ ආසන්න හේතුවකට සැකපිට අත්අඩංගුවට ගැනුනේ ගිය 19 වැනිදායි (CNN). ඇමෙරිකානුවන් අතින් ඔකිනාවා කාන්තවන් හිංසනයට ලක්වීමේ සිදුවීම් 5000 ක් පමණ ඇති බව අන්තරජාල මාධ්‍ය වාර්තා කරයි. මේ සිද්දියත් සමග බොහෝ ජපන් ජනතාව ඇමෙරිකානුවන් සමග බොහොමත් හිත නොහොඳින් සිටීම නිසා ජනපති ඔබාමාගේ ජපන් සංචාරයෙන් අගමැති අබේගේ පරිපාලනයට රටතුල ලබාගැනීමට තිබු වාසි සහගත අවස්ථාව ඉතා අවම විය හැකි බව දේශපාලන විශ්ලේෂකයන් පුරෝකථනය කරයි. අගමැති අබේ මෙම තරුණියගේ ඝාතනයෙන් ඉතාම අසතුටට පත්වී සිටින අතර  ජනපති ඔබාමාගේ සංචාරයේදී මෙය ඉදිරියට ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වෙනවා. ඇමෙරිකානු ආරක්ෂක ලේඛම් ඇශ්ටන් කාටර් මේ ගැන ජපානයෙන් සමාව ඉල්ලා ඇත (Japan Times). ඔකිනාවා ඇමෙරිකානු කඳවුර ඉවත් කිරීමට දුන් පොරොන්දුව ඉටු නොකිරීම නිසා පෙර සිටි පාලකයෙකුට ඉල්ලා අස්වීමට පවා සිදුවීම ම, මෙම සිදුවීමේ සංවේදීතාවය කොපමණදැයි සිතා ගැනීමට හොඳ උදාහරණයකි.

ජනපති ඔබාමාගේ හිරෝෂිමා සංචාරය තෙක් අපි තව දින 3ක් බලාසිටිමු.


ඉහත ලියවිල්ලේ අඩංගු වන්නේ මාධ්‍ය වල වාර්තා වූ කරුණු වේ. ලියවිල්ලේ අරමුණ හුදෙක් සිංහලෙන් මෙම කරුණු ලියා තැබීම මිස කිසිදු අයෙකුට හෝ ආයතනයකට අපහසුතාවයක් ඇතිකිරීමේ අරමුණක් නොමැති වේ. එවැනි අපහසුතාවයක් ඇතිවන්නේ නම් ඒ ගැන කණගාටුවන අතරම සුදුසු ලෙස එම කොටස් ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට බලපොරොත්තුවෙමි. (පින්තුර අන්තර්ජාලයෙනි)       




36 comments:

  1. මේක ලියනකල් බලන් හිටියා කියවන්න. ඕනිම ටිකට එනකොට කියනවා තව දවස් තුනකින් බලාපොරොත්තු වන්නලු. රවීගෙ ( අර නිදහසේ හිතන) නෑයෙක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්, ඔබ අපේ ලියවිල්ල කියවීමට බලාපොරොත්තුව සිටි බව දැනගැනීමෙන් ලිවීමට අපට ඇති උනන්දුව කිහිප ගුණයකින් වැඩිකලා.

      මෙවැනි සංවේදී කාරණාවන් ලිවීමේදී එහි claim එක බොහොම අඩු විය යුතුයි. මම මාධ්‍යවේදී වීසා කාණ්ඩයේ සිටින කෙනෙකු නොවන නිසා මට කල හැක්කේ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා පිටවනතුරු බලාසිට ඉතා පරෙස්සමෙන් සහ අඩු claim එකකින් ලිවීමයි. අනෙක් අතට බ්ලොග් ලියවිලි සංස්කාරකවරයෙකු පාලනය නොකර නිසාත් මම බ්ලොග් සම්බන්ධ ජාත්‍යන්තර රෙගුලාසි හරියටම නොදන්නා නිසාත් මට පුරෝකථන ඉදිරිපත් කිරීම අපහසුයි. මම දැනුත් දේශීය රූපවාහිනියක නරඹමින් ඉන්නේ ජනපති ඔබාමාගේ සංචාරය සම්බන්ධ මෙම කාරණා ගැනයි. ඉතින් අපි ඔබාමා දයිත්රෝයෝ ගෙම්බකු දෝමු බලන්න යනකන් බල සිටිමු. මේ ගැන ලිපි කිහිපයක්වත් ලියන්න බලාපොරොත්තුවෙන් පසුබිම සකසා තැබීම පමණයි මම මේ ලියවිල්ලෙන් බලාපොරත්තු වුණේ.

      Delete
  2. මේ බ්ලොග් එක ආරම්භ කිරීම කෙහරම් වටිනා අදහසක් ද? ලිවීම් ඉතාමත් සුගමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා. ලිවීමේ යම් ගුණාත්මක බවක් තිබේ නම් ඒ පර්යේෂණ පත්‍රිකා ලිවීමට ලැබූ අසීරු පුහුණුව නිසා විය හැකියි. ඒ සියලු ගුරුවරුන්ට බොහොම පින් සිදුවිය යුතුයි.

      බ්ලොග් එක ආරම්භ කිරීමේ යෝජනාව නම් ඉතින් ඉයන් ගේ. පසුව ඊට බොහොම සහයෝගයක් දැක්වුයේ අරුණ. ඒ ගැන ඔවුන් දෙදෙනාටම ස්තුතියි.

      Delete
  3. උනන්දුවෙන් කියෙවුවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබ උනන්දුවෙන් කියවූ බව දැනගැනීමට තවත් දෙයක් ලිවීමට මගේ උනන්දුව වැඩිකලා.

      Delete
  4. සමාව ගැනීමක් තියා ඒ ගැන වචනයක් වත් කතා කරන එකක් නෑ. ඒ ඇමරිකාව. හරි හෝ වැරදී තමන්ගේ කලින් හිටිය නායකෝ රකිනවා. ලංකාවේ අපේ පොරවල් වගේ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ දේශපාලනිකව බලවත් රටවල් බොහොමයක් හැසිරෙන විදිය ඔහොමයි නේද ?

      Delete
  5. ජපන් - ඇමරිකා දේශපාලන සහ ආර්ථික සහයෝගිතාවයේ මට්ටම අනුව තමයි සියල්ල තීරණය වන්නේ. මේ රටවල් දෙකටම බැහැ අනෙකාව අත්හරින්න.

    ජපානයට පරමාණු බෝම්බ හෙළුවේ ඇයිද යන්නත් සලකා බැලිය යුතුයි. කෙනෙකු කියනවානම්, එය කූඹියකු මරන්න කුළුගෙඩියෙන් ගැසීමක් කියා, මා එකඟ වන්නේ නැහැ. ජපනා එදා හැසිරුනේ, නිර්දය ආක්‍රමණිකයකු ලෙසයි. ජපනා අපේ රට යටත් කරගත්තා නම්, බ්‍රිතාන්‍ය පාලනයටත් වඩා දරුණු පාලනයකට අපි යටත් වෙනවා.

    ජපනුන්, ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දමා, සහමුලින් වනසා දැමීමෙන් අභියෝග කලේ, ඇමරිකානු අභිමානයටයි. තම රටේ අභිමානය වෙනුවෙන් සටන් නොකරන රටකින් ඇති වැඩක් නැහැ. ජපානයට තිබුනා පර්ල් වරාය ආක්‍රමණය කිරීමට පෙර, තම ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරගන්න.

    ඇත්තටම ඇමරිකාව හිතුවේ නැහැ තමන්ගේ ප්‍රහාරය මෙතරම් දරුණු වෙයි කියා.

    ReplyDelete
    Replies
    1. එවකට ජපන්නු ළඟ ප්‍රජාතන්ත්‍රවාදය තිබුනේ නැහැ. ඔවුන්ට තිබුනේ සමුරායි ක්‍රමය. එය ප්‍රජාතන්ත්‍රවාදය තරම් සුමට ක්‍රමයක් නොවෙයි නේ. නමුත් දැන් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඔවුන් දැන් බොහොම සාමකාමී මිනිසුන් කොටසක් බවයි මම හිතන්නේ.

      බ්‍රිතාන්‍ය මෙන් යටත් කරගත් රටවල් කොල්ලකෑම ජපනුන් සිදුකලේ නැතිබවයි මම හිතන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ ජපනුන් යටත්කරගෙන සිටි තායිවානයෙන් පවා ජපනුන් කිසිවක් තම රටට නොගෙනා බවයි සඳහන් වෙන්නේ. බ්‍රිතාන්‍ය යටත් කරගෙන සිටි හොංකොං වැනි රටවල් තරමක් දියුණු කලත් බොහෝ රටවල් ඔවුන් කොල්ලකෑ බවයි මගේ අදහස.

      ලෝක ඉතිහාසයේ වැඩිම විනාශකාරී බෝම්බ ප්‍රහාරය ලෙස සැලකෙන 1945 මාර්තු 9 "Operation Meetinghouse" මෙහෙයුමේදී බෝම්බ ටොන් 2000ක් පමණට ටෝකියෝ නගරයට හෙලීමෙන් පසුත් ඔවුන්ගේ ඉලක්කය වෙනස් නොවූ නිසා පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ලවූ බවයි කියවෙන්නේ. ඔවුන් මෙල්ල කරන්න එවැනි තීරණ ගන්න වෙන්න ඇති.

      නමුත් නගසකි ප්‍රහාරය වනවිට ඇමෙරිකානුවන් පරමාණු බෝම්බයේ විනාශකාරී බව දැන සිටියා. මේ ගැන ලෝකයේ පවතින්නේ විවාදයක්. නමුත් හැමෝම ඉන්නේ නැවත එවැනි දේ සිදුනොවිය යුතුයි කියන තැනයි. මමත් එහෙමයි. ලෝක නයෂ්ඨික අවිහරණය සඳහා එක්සත් ජාතීන්ගේ මහලේඛම්වරයාට යවන පෙත්සම සඳහා මම ද අත්සන් කර තිබේ.

      Delete
    2. හරියට හරි. ජපනුන්ගේ සමුරායි ක්‍රමය තමා ඔවුන්ටම ආපහු කැරකුණේ. ඒ කාලේ ගුවනින් බෝම්බ හෙලීම අද තරම් දියුණු නැහැ. ඒ නිසා තමයි පරමාණු අවියක් භාවිත කරනතනට ඇමරිකාව පත්වුණේ. එය සාධාරණ පියවරක් නෙවෙයි.

      අම්මෝ........ න්‍යෂ්ටික/රසායනික/ජීව විද්‍යාත්මක/අවි, කවදාවත් එපා.

      Delete
  6. හිරෝෂිමා නෙවෙයි නියම උච්චාරනය හිරොෂිම
    අපේ ගොඩාක් අය මෙහේ නම් ගම වල අන්තිමට ඇදල නවත්තන්නෙ.
    සින්හල ඌරුව මම හිතන්නෙ
    උදා:
    නගොය -> නගෝයා
    ඕසක -> ඔසාකා
    ෆුකුෂිම -> ෆුකුෂිමා
    තනක සන් -> තනාක සාන්
    ** ඔබාම ලොක්ක එන්නෙ අපේ ටවුන් එකට.

    ReplyDelete
    Replies
    1. -ජපන් ඇනෝ

      Delete
    2. ඔබට ස්තුතියි.

      නමුත්, හිරෝෂිමා, ටෝකියෝ, කියෝතෝ වැනි වචන අපේ රටේ දැන් සම්මත ව්‍යවහාරය බවට පත්වී හමාරයි. ඒවා අධ්‍යාපන අමාත්යංශයේ පාසල් පොත්වල පවා සඳහන් වෙන්නේ ඒ ලෙසයි.

      තොක්යෝ, ක්යෝතො ලෙස වෙනස්ව ලිවීමෙන් කියවන්නාට පහසුවක් වේ යයි මම සිතන්නේ නැහැ. ඒ නිසා මගේ ස්ථාවරය වන්නේ භාවිතයෙන් ම සම්මතයක් බවට පත්වී ඇති ක්‍රමය අනුගමනය කිරීමයි.

      Delete
    3. ////// ඒ නිසා මගේ ස්ථාවරය වන්නේ භාවිතයෙන් ම සම්මතයක් බවට පත්වී ඇති ක්‍රමය අනුගමනය කිරීමයි.//////////

      ඔබ හරි. කලම්බු කියන්නේ කොළඹ වුනාට ඉංග්‍රීසියෙන් ලියන කෙනෙක් Kolamba කියලා ලිව්වොත් පාඨකයා අපහසුවේ වැටෙනවා.

      ඇනෝගේ පැහැදිලි කිරීමෙන් යමක් ඉගෙණගත්තා. ස්තූතියි!!!

      Delete
    4. ඇයි Mahanuwara? හැබැයි අරු මම දැකලා තියනවා නුවර කඩේක ලියලා තියනවා ඉංග්‍රීසියෙන් Mahanuwara කියලා.

      Delete
    5. අද උදේ මා එක්ක වැඩකරන යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ කොලු ගැටයෙක් මා එක්ක කිව්වා ඔහුගේ පළමු රැකියා තේරීම "මත්සුදා 松田" සමාගම බව. ඔය ලෝකප්‍රසිද්ධ "මත්සුදා" සමාගම තිබෙන්නේත් හිරෝෂිමා නගරයේ. මත්සුදා වාහනවල ඔබත් ඕනේ තරම් ගිහින් ඇති. පිස්ටන් එන්ජින් වෙනුවට, කරකැවෙන වැන්කල් එන්ජින් (Wankel engine) තිබෙන "Cosmo" කාර් එහෙම මත්සුදා සමාගමේ නිෂ්පාදනයක්. හැබැයි මේ මත්සුදා බොහෝ දෙනෙකුට ප්‍රේහේලිකාවක් වෙන්න පුළුවන්.

      එකට හේතුව මේ මත්සුදා (松田, Mazda), අපි සිංහලෙන් කියවන්නේ "මැස්ඩා" ලෙස. ඉතින් භාවිතයේ සම්මතයට එහා ගියොත් කියවන අයට වෙන්නේ අවැඩක්.

      ඇහැට කණට පේන ලස්සන ජපන් තරුණියක් වාහන සමාගම් වල නම් ජපන් විදියට ලස්සනට කියන හැටි බලන්න මේ සබැඳියෙන් පුළුවන්. https://www.youtube.com/watch?v=3l8xFCLB1m8

      Delete
    6. @විචා.....බොහෝ කාලයකට ඉස්සෙල්ලා Kolamba,Mahanuwara, Halawatha,වගේ නම් ඒ විදිහටම ලියන්න ඕන කියලා කතාවක් ආවා. හැබැයි ඒක එහෙමම යටගියා.Yaapanaya, Madakalapuwa, Thirukunamalaya සාකච්ඡා වුනාද මතකයක් නැහැ. ඉන්දියාවේ මැඩ්‍රාස්, චෙන්නයි වීම කල්කටා, කොල්කටා වීම බොම්බේ, මුම්බායි වීම වගේ දේවල් සිද්ධවුනා. දැන් අපිටත් මතක නැහැ බොම්බේ, මැඩ්‍රාස් කියලා කිව්වද කියලවත්.

      Delete
  7. //// ඔබාමා NHK නාලිකාව සමග සාකච්චාවේදී පැවසුවේ, යුද්ධයක් මැද්දේ දී නායකයන් සියලු වර්ගවල තීරණ ගන්නා බවත් ප්‍රශ්න අසමින් ඒවා විභාග කිරීම ඉතිහාසකරුවන්ට අයත් වැඩක් බවත්ය. තවදුරටත්, නායකයන් හට අසීරු තීරණ ගැනීමට සිදුවෙන බවත්, එය යුධ අවස්ථාවකදී විශේෂයෙන්ම සිදුවන බවත්////////////

    ලිපිය කියවමින් සිටිනා විට මේ උපුටාගත් කොටස නැවතත් කියවා බැලුවා. යුධ අපරාධ සාධාරනීකරණය නිවැරදි පිවිසුමක් නොවුනත් එය මහ බලවතුන් ඉදිරියේ වෙනස්වෙන අපූරුව හරිම විශ්මයජනකයි කියලා හිතුනා ඔබාමාගේ කතාවත් එක්ක.

    සමුළුවට ශ්‍රීලාංකික නායකයෙක් සහභාගිවෙන පළමු අවස්තාව කියා මාධ්‍ය කියනව. ජපන් අගමැති අපට මේ සමුළුවට ආරාධනා කරන්නේ කුමක් අරබයාද කියා ඔබට අදහසක් තියෙනවද? මේ ජපානයේ ආරාධනාවක් බව අපේ මාධ්‍ය කියනවා.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ දේශපාලනිකව බලවත් රටවල් බොහොමයක් හැසිරෙන විදිය ඔහොමයි නේද ?

      වර්තමාන දේශපාලනය අනුව ශ්‍රීලංකාවේ පිහිටීම් ඉතා වැදගත් නිසා ඔවුන්ට හොඳ සම්බන්ධ තාවයක් ගොඩනගාගැනීමේ අරමුණක් ඇතිවිය හැකි බවයි ඒ මේ සම්බන්ධ ජපන් විද්වතෙක් නම් කියන්නේ. ඒ වගේම ඔහු කීවේ, බීජිං සමග වර්තමාන කොළඹ පරිපාලනයේ සම්බන්ධතාවයේ ස්භාවය ජපානයට වැදගත් වන බවයි. ජපානය සමග ශ්‍රී ලංකාව සමග හවුල් ආයෝජන සඳහා අවස්ථාව ඇතිකිරීමත් මෙයින් බලාපොරත්තු වෙන්නට පුලුවන්. ඒවගේම ඉතා මෑතදී යෙන් බිලියන 3.5 ක ණයක් ජපානය ශ්‍රීලංකාවේ ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට ලබාදීම ඔහුට පෙනෙන්නේ ලංකාව චීන කොන්සේදී යටතේ ණය වීම වැළක්වීමේ උපායක් ලෙස.

      මගේ අදහස නම් අපට සිදුවුණ ගංවතුර ස්වභාවික උවදුර මේ හදිසි ආරාධනාවට විශාල ලෙස හේතු වන්නට ඇති බවයි. ස්වභාවික උවදුරු අවදානම අඩු කිරීමට අන්තරජාතික සහයෝගීතාවය ලබාදීමත් මෙවර සමුළුවේ එක අරමුණක්. බංගලාදේශය, ඉන්දුනීසියාව, ලාඕසය, පැපුවා නිවු ගිනියාව, වියට්නාමය, සහ අප්‍රිකානු-සහරා රටක් වන චැඩ් රටත් අපේ රට වගේම මේ සමුළුවට සහභාගීවෙනවා.

      Delete
    2. කෙන්කියුෂා, ඔයා මේක බලලා තියෙනවද 2015 ජනවාරි 9/10 පත්තරයක්
      http://www.nhk.or.jp/kaisetsu-blog/sp/300/206840.html?utm_source=twitterfeed&utm_medium=twitter

      Delete
    3. ඔබ ලබා දුන් NHK online වෙබ් අඩවියේ සබැඳිය අරුණගේ ප්‍රශ්නයට හොදම පිළිතුර දෙන බව මගේ විශ්වාසයයි.

      Delete
    4. සඳ වියමන්..බොහොම ස්තූතියි. ජප්පෝ මහින්දවයි, මෛත්‍රිවයි. ශි ජින්ග්පින්ග්වයි ලස්සනට කාටුන් එකට අරගෙනනේ.

      Delete
    5. මේ කාටුන් එකේ අපි දකින දේට වඩා යමක් තියෙනවා කියලා මං හිතනවා.

      අරුණද මන්දා කවුරුහරි කෙන්කියුෂට යොමු කරපු ප්‍රශ්ණෙයි කෙන්කියුෂාගෙ උත්තරේටයි පහසුවක් වෙන්න මම ලින්ක් එක දුන්නට මටත් මේක කියවාගන්න බෑ. කාටුන් එකෙන් ගත්තු අදහස විතරයි. නමුත් මෙතන මුහුදු කතන්දරයක් තියෙනවා. මං හිතනවා මේකෙ තියෙන දේ අපේ ජපන් ඇනෝ මිත්‍රයාට පැහැදිලි ඇති කියලා.

      මම ඉස්සෙල්ලා ජනවාරි 9/10 කිව්වට මේක ජනවාරි අට එකක්. තව පැය හයක් ඇතුළත ......සිදුවීමට නියමිතයි කියලා වගේ දෙයක් මේකෙ තැනක තියෙනවා (අනුමානයක් විතරයි. මට හරියට කියවලා තේරුම් ගන්න බෑ )

      ඇයි ජපන් අගමැති?...මම කැමතිම එයාව ඇදලා තියෙන විදිහට, බැල්මත් එක්ක

      Delete
    6. සඳ වියමන්....මම ඒක ගූගල් එකෙන් ට්‍රාන්ස්ලේට් කරගෙන කියෙව්වා. ලංකාවට චීන බලපෑම ගැන තමයි ලියලා තියෙන්නේ.

      Delete
    7. චීන ආධාර ලබාගනිමින් ඔවුන්ට ලංකාවේ පොර්ට් සිටි සෑදීමට දීමෙන් චීනයට ඉන්දියානු සාගරය ආක්‍රමණය කිරීමට ඉඩ සලසා ඇති බව සහ එයින් ජපානයට ඇතිවය හැකි බලපෑම ගැන දෙවන ප්‍රශ්නයෙන් සාකච්චා කරන බවයි මා සමග වැඩ කරන කොලු ගැටයා කිව්වේ.

      අපේ කණ්ඩායමේ ළමයින්ගේ ලියවිලි වල ඉංග්‍රීසි හදලදෙන එකත් මගේ රස්සාවේ එක කොටසක්. එයාල ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා දුන්නම නම් ඉතින් ආයේ ඕනේ නෑ . දැන් නම් කියල කියල දන්නා ඉංග්‍රීසියෙන් ලියල දෙනවා එයාල. ඉතින් මට නම් ගූගල් ට්‍රාන්ස්ලේට් කියවීම එතරම් ප්‍රසන්න දෙයක් නොවෙයි ඒ නිසාම.

      සඳ වියමන් කිව්වා වගේ අපේ අඥාත මිතුරාට පුළුවන් ඇති මේක බොහොම හොදින් කියවන්න.

      Delete
    8. මේක ජන්දෙ දවසෙ පලවෙච්ච එකක් නිසා තේරෙනවනෙ අනෙක් රටවල් අපේ ජන්දෙ දැක්කෙ කොහොමද කියලා. ඒ ගැන එයාලගෙ උනන්දුව කොහොමද කියලයි. ඒ ජන්දෙ ඉදිරි අවුරුදු 6 තුල ලංකාවෙ තත්වෙ තීරණයට විතරක් නෙවෙයි වැදගත් වෙන්නෙ, කලාපෙ අනෙක් අයටත් ඒකෙ බලපෑමක් තියෙනවා කියලත් අන්තිමට තියෙනවා නේද?.

      පවුල් පාලන කතන්දරෙත් මේකෙ තියෙනවා.

      කොහොම උනත් මම මේ ලින්ක් එක ලබාදුන්න පලවෙනි අවස්ථාව නෙවෙයි මේක. ඒත් ඒක කෙනෙක් කියවපු පලවෙනි වතාව මේක.

      ලංකාවෙ පාර්ලිමේන්තුවෙ දැන් ඉන්නවනෙ ජපානෙ හිටිය, භාෂාව දන්න මහාචාර්යවරයෙක් (අර්ශු මාරසිංහ - එජාප ජාතික ලැයිස්තුවෙන් ). ඒ වගේම අපිට දැන් ඉන්නෙ භාෂාව, සංස්කෘතිය හැමදේම දන්න, පෑනෙනුත් ටොකු අනින්න හපන්කම් තියෙන සුන්දර නිහතාමානී තානාපතිවරයෙක්. ඔය ඔක්කොමත් එක්ක අපිට ජපානයේ උදව් ඉදිරියේදි ලැබෙයි කියලා හිතනවා.

      Delete
    9. සඳ වියමන්...මට පැණි වළලු මතක්වුනා.

      Delete
    10. අපෙත් කාටුන් ශිල්පියෝ දැක්ක දේම ජපානයේ කාටුන් ශිල්පියොත් හොඳින් දැක ඇති හැඩයි.

      Delete
  8. ඔබාමා වියට්නාම් රෙස්ටෝ එකට ගිහිල්ල බියර් එක බොනව දැකක්ම තමා මතක් උනේ නැනෝ මේ ගැන ලියනවා කිව්ව නේද කියලා. ඉතිං ආවා බලන්න.. මදෑ තව දවස් තුනක් ඉවසහංකෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකයා, ඔබාමා මහත්තයා එහෙ යන්නත් කලින් කොහොමද ඉතින් මම ලියන්නේ ? ඊට පසුබිම විතරයි මේ ලිව්වේ.

      Delete
  9. මේ ගැන අලුත්ම වාර්තාව. Developing Story CNN


    http://edition.cnn.com/2016/05/26/politics/obama-japan-hiroshima-what-to-watch-for/index.html?sr=fbcnni052716obama-japan-hiroshima-what-to-watch-for1234AMVODtopLink&linkId=24920847

    ReplyDelete
  10. President Obama arrives in Hiroshima to stress 'very real risk' of nuclear weapons !!

    http://edition.cnn.com/2016/05/27/politics/obama-hiroshima-japan/

    ReplyDelete
  11. ජපානයේ සාමාන්‍ය සිදුවීමක් නේද අගමැතිවරුන් ඉක්මනින් ඉවත්වීම.ඔබාමාගේ හිරෝෂිමා සංචාරය තමන්ගේ වාසියකට හරවා ගැනීමෙන් තමන්ගේ බලය තහවුරු කර ගැනිමකටත් ජපන් අගමැති කටයුතු කරවීද ?එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම හෙලනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මගේ දැනුමේ හැටියට නම් මෙහෙමයි.

      කලින් එහෙම පිට පිට ම අඩු කාලෙකින් පාලකයන් මාරු වුනත්, 2012 නොවැම්බර් 16 බලයට පත් වුන අගමැති අබේ ම නැවතත් 2014 දෙසැම්බර් 24 තේරීපත් වුනා. එපමණක් නොවෙයි ඔහුගේ ලිබරල් ඩෙමොක්රටික් පක්ෂය සහ කොමෙයිතෝ පක්ෂය එකවී සාදාගත් සන්ධානය පහල මන්ත්‍රණ සභාවේ 2/3 ට වැඩි බලයක්ත තහවුරු කරගත්තා. දැනට මෙහි පවතින ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ගැන තත්වය ඔබ දන්නවා යයි මම සිතනවා.

      ඉහල මන්ත්‍රණ සභාවේ ආසන 242 න් 121 පමණ තෝරාගැනීමේ ඡන්දය 2016 ගිම්හානයේදී පැවැත්වෙනු ඇති. එයින්ද ලැබෙන ආසන සංඛ්‍යාව ද සමග ඉහල මන්ත්‍රණ සභාවේ ද 2/3 බලයක් ලබාගතහොත් වර්තමාන ව්‍යවස්ථාවේ 96 වෙනි වගන්තිය යටතේ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් ජනමත විචාරණයක් කැඳවිය හැකියි.

      ජනපති ඔබාමාගේ හිරෝෂිමා සංචාරය මීට හිතකර පරිසරයක් නිර්මාණය කරාවි යයි සිතන්නට පුළුවන්.

      Delete
    2. //මෙහි පවතින ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ගැන තත්වය ඔබ දන්නවා යයි මම සිතනවා.//

      ඒ ගැන මගේ දැනුවත් වීමක් නැහැ.
      ජපානය ගැන මගේ විශ්මයට තවත් හේතුවක් තමයි ඉක්මනින් රටේ පාලකයෝ මාරු වුනත් රටේ ප්‍රතිපත්ති වල වෙනසක් පිටස්තර අපිට පේන්නේ නැති එක.මොකද අපිට තියෙන්නේ ඊට වෙනස් අත්දැකීමක්නේ.පාලකයෝ වෙනස් වෙනකොට රටේ ප්‍රතිපත්ති ඔක්කොම වෙනස් වෙනවා.කොටිම්ම පාරවල් වල නම් පවා.ඇමරිකාවේ ධුරයේ ඉන්න ජනපතිවරයා මත එම රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන බවක් වරක් ඉකානෝමැට්ටා පැවසුවා මතකයි.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.