Tuesday, May 31, 2016

නිරෝගී දිවියකට අත්‍යවශ්‍ය වන ගෘහස්ථ වාතයේ ගුණාත්මක භාවය Indoor Air quality

අපේ ජීවිතය වැඩිපුරම ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිනක් සැලකු විට අනිවාර්යයෙන්ම රාත්‍රිය ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. දිවා කාලයද සේවා ස්ථානයක අභ්‍යන්තරයේ බොහෝ විට ගෙවේ. ගමනාගමනය ද කවුළු වැසූ  රථයක් තුල සමහරවිට සිදුවේ. සාමාන්‍ය තත්වය සැලකු විට පුද්ගලයෙකුගේ ජීවිතයෙන් 70% පමණ ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තර පරිසර තුලයි.

වැඩුණු පුද්ගලයෙක් මිනිත්තුවකට 10-30 වතාවක් පමණ හුස්ම ගනී. නිරෝගී වැඩුණු පුද්ගලයෙකු වාතය ලීටර් 11,000 ක් පමණ දිනකට ආශ්වාස කරන බව සාමාන්‍ය පිළිගැනීමයි. මෙයින් 70% පමණ ගෘහස්තව වෙසෙන නිසා ගෘහස්ත වාතය ලීටර් 8000 පමණ අපි දිනකට ශරීරය තුලට ගන්නෙමු.  ගෘහස්ත වාතයේ සෞඛ්‍යයට අහිතකර දේ අඩංගු වේ නම් අපේ ශරීරයට එවැනි ඒ වාතය ලීටර් 8000 ක් ම දිනකට ඇතුළු වන බව ඔබට පැහැදිලි වනු ඇති.  ගෘහස්ත වාතයේ ගුණාත්මක බව ජීවිතයට වැදගත් වන්නේ ඇයි දැයි වටහා ගැනීමට ඉහත සරල කරුණුම ප්‍රමාණවත් වනු ඇති බව මගේ විශ්වාසයයි.

බාහිර පරිසරයේ සුළං හමායාම හා වාතය මිශ්‍ර වීමේ සීග්‍ර තාවය ඉතා ඉහල වේ. බාහිර පරිසරයට සාමාන්‍ය හානිකර වාෂ්පශීලී ද්‍රව්‍යයක් එක වුවද එය ඉක්මනින් විසිරී තනුක වී යයි. නමුත් ගෘහස්ත පරිසරයේ දී එසේ යම් හානිකර වාෂ්පශීලී ද්‍රව්‍යයක් වාතයට එක්වූ විට එය බොහෝ වෙලා යන තුරු එසේම රැදී පවතී. අපි එළිමහනේ සුවඳ විලවුන් ටිකක් ඉසීමෙන් පසු ඔබ එතනින් ඉවත්ව ගොස් නැවත බොහෝ වෙලාවකින් පැමිණියහොත් කිසිදු සුවඳක් රැදී නොපවතී. නමුත්, නිවස තුල සුවඳ විලවුන් ටිකක් ඉසීමෙන් පසු ඔබ එතනින් ඉවත්ව ගොස් නැවත බොහෝ වෙලාවකින් පැමිණියද යම් සුවඳක් රැදී තිබේ. (ඉවත නොගොස් එතනම රැදී සිටියහොත් අප සුවඳට හුරු වීම නිසා අපට එය නොදැනී යයි.) මෙයින් පෙනෙන්නේ ගෘහ අභ්‍යන්තරයේ වාතයට එක්වන යම් වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යයක රැදී පැවතීම භාහිර  පරිසරයට සාපේක්ෂව ඉතා වැඩි වශයෙන් සිදුවන බවයි. එසේ වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යය රැදී පවතින වාතය ආශ්වාස කරන සෑම වතාවකදීම ඒවා අපේ ශරීරයට යම් පමණකින් ඇතුළු වීම සිදුවේ.

අපේ රටේ රෝහල්ගත වීම්  වලට ප්‍රධානතම හේතුවක් වන්නේ ගෘහ තුල වාතය ගුණාත්මක නොවීමයි. Sick building syndrome යනු මෙම ගැටලුවේ උච්චතම අවස්ථාවකි. ශ්‍රීලංකාවේ විශ්විද්‍යාල දේශන ශාලාවකද මෙම හේතුව නිසා උදෑසන පවා සිසුන් නිදා වැටීමේ යම් ගැටළුවක් මතුවූ බව මම අසා ඇත. පසුව, ගොඩනැගිල්ලේ සිදුරක් විද වාතය හුවමාරු වීම වැඩි කල පසු එම ගැටලුව විසදුනු බව පසුව මගේ මිතුරෙකු මා සමග කීවේය. අලුත් පොත් වලින්, අලුත් ඇදුම් වලින්, විදුලි උපකරණ වලින් යම් සුවඳක් නැගෙන බව ඔබ අත් දැක ඇතුවාට නිසැකයි. ඒ සියලු සුවඳ එන්නේ ශරීරයට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග වලිනි. නිවසේ දොර ජනෙල් වසා තබාගෙන සිටින්නේ නම් ඔබ ඒ සියලු වි සංයෝග වලට අතිශය නිරාවරණ වේ.  

එම නිරාවරණ වීම කොයිතරම් දැයි වටහා ගැනීමට අපි උත්සහ කරමු. මීට අපට ආකෘතියක් භාවිතා කල හැකියි. එම නිරාවරණ වීම අඩු කර ගැනීමට ක්‍රියා කළහැකි ආකාරය ද එමගින්ම සාකච්චා කරමු. 

ගෘහස්ත වාතයේ ගුණාත්මක භාවය ආදෘශ්‍යනය Indoor Air Quality Modelling

ගෘහස්ත වාතයේ ගුණාත්මක භාවය ආදෘශ්‍යනය සඳහා බොහෝවිට යොදාගන්නේ Continuous-flow stirred-tank reactor (CFSTRමොඩලයයි (1. රූපය). මෙම සමාකරණය සඳහා මම US EPA විසින් ඉදිරිපත් කල සරල මෘදුකාංගය භාවිත කරමි. මෙම මෘදුකාංගයට ඉහත මම දක්වා ඇති CFSTR මොඩලයේ විවිධ අවස්ථා වලට අදාළ දත්ත එක් කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිඵලය පහත දක්වා ඇත. එම මොඩලය මෙම සබැඳියෙන් බාගත කරගෙන විවිධ තත්වයන් යටතේ වාතයේ තත්වය සමාකරණය කිරීමට ඔබටද උත්සාහ කල හැකිය.   
1. රූපය CFSTR මොඩලය නිරූපණය කරන කාමරයක්. 


අවස්ථාව (1)  දොර ජනෙල් වසා ඇති කාමරයක් තුල දුම් වැටියක් දල්වා ක්ෂණිකව නිවාදැමීම.

කාමරයේ ප්‍රමාණය ඝන මීටර 10 පමණ ලෙස ගනිමු. බොහෝ දෙනා දුම් බොන්නේ කාමරවල ජනෙල් දොරවල් වසාගෙන බැවින්, පැයක් තුල වාතය හුවමාරු වීමේ ප්‍රමාණය 50% පමණ (ඝන මීටර 5) යයි සිතමු. දුම්වැටියක් මගින් මිනිත්තුවකට නිකොටීන් දුම මිලිග්‍රෑම් 1 ක් පමණ විමෝචනය කරන බව සිතමු. කාලය 0.1 h වන විට දී දුම් වැටිය දැල්වීම සිදුකර, නමුත් ඒ මොහොතේම ක්ෂණිකව නිවා දැමීම සිදු කලේ යයි සිතමු. සමාකරණ ප්‍රතිඵලය (simulation result) පහත ප්‍රස්ථාර ගත කර ඇත. කාමරය තුල සිටින කාන්තාව සාමාන්‍ය විවේකයෙන් සිටින ලෙස සලකා මිනිත්තුවකට වාතය ලීටර් 8 පමණ හුස්ම ගන්නේ නම් ඇයගේ ශරීරයට දුම අවශෝෂණය වූ ප්‍රමාණය ද ප්‍රස්තාර ගත කරමු. 

ප්‍රස්ථාරය අනුව පෙනෙන්නේ දුම්වැටිය දල්වා ක්ෂණිකව නිවුවද, පැයක් යනතුරුත් සැලකිය යුතු දුමක් කාමරය තුල රැදී තිබෙන බවයි. කාමරයේ සිටින කාන්තාවගේ ශරීරයට දුමෙහි අඩංගු දුෂක මිලිග්‍රෑම් 0.002 පමණ අවශෝෂණය වන බව පෙනේ. 

2. රූපය කාලයත් සමග කාමරය තුල දුම සාන්ද්‍රණයේ විචලනය


3. රූපය කාලයත් සමග දුම ස්වසනය මගින් ශරීරයට ඇතුළු වූ ප්‍රමාණය.


අවස්ථාව (2)  දොර ජනෙල් විවුර්ත කර ඇති කාමරයක් තුල දුම් වැටියක් දල්වා ක්ෂණිකව නිවාදැමීම.

පෙර සැලකු කාමරයේ දොර ජනෙල් ඇර ඇති නිසා වාතය හොදන් හුවමාරු වනවා යයි සිතමු. පැයක් තුල වාතය හුවමාරු වීමේ ප්‍රමාණය 500 % පමණ (ඝන මීටර 50) යයි සිතමු. සමාකරණ ප්‍රතිඵලය නැවත පහත ප්‍රස්ථාර ගත කර ඇත. කාමරය තුල සිටින කාන්තාව සාමාන්‍ය විවේකයෙන් සිටින ලෙස සලකා මිනිත්තුවකට වාතය ලීටර් 8 පමණ හුස්ම ගන්නේ නම් ඇයගේ ශරීරයට දුම අවශෝෂණය වූ ප්‍රමාණය ද නැවත ප්‍රස්තාර ගත කරමු.
4. රූපය කාලයත් සමග කාමරය තුල දුම සාන්ද්‍රණයේ විචලනය
5. රූපය කාලයත් සමග දුම ස්වසනය මගින් ශරීරයට ඇතුළු වූ ප්‍රමාණය.
ප්‍රස්ථාරය අනුව පෙනෙන්නේ පැයක් ගත වීමටත් පෙර කාමරයේ තිබු දුම සම්පූර්ණයෙන්ම ඉවත්වී ගොස් ඇති බවයි. කාමරයේ සිටින කාන්තාවගේ ශරීරයට දුමෙහි අඩංගු දුෂක මිලිග්‍රෑම් 0.0005 පමණ අවශෝෂණය වන බව පෙනේ. එනම් ශරීරයට දුම අවශෝෂණය වූ ප්‍රමාණය පෙර අවස්ථාවට වඩා 75% ක් පමණ අඩුවී ඇත. 

අප මෙහි උදාහරණයට ගත්තේ දුම්වැටියක් වුවද දුම් නොබොන අයටද මෙය ඉතාමත් අදාළ වේ. මදුරු දඟරයක්, හෝ හදුන් කුරක් ක්‍රියා කරන්නෙත් දුම් වැටිය ක්‍රියා කරන ආකාරයටම විෂ දුම් නිකුත් කරමිනි. දුම් නොබොන ගෘහනියන් සන්ධ්යාවේ දොර ජනෙල් වසා නිවාස  තුල හඳුන් කුරු දල්වා, උදැසන වෙන තෙක්ම දොර ජනෙල් වසාගෙන සිටීමෙන් සමහර විට දුම් බොන්නෙකුටත් වඩා විෂ දුමට නිරාවරණය විය හැකියි. හදුන් කුරු සාම්බ්රානි දල්වනවා නම් හොදින් දොර ජනෙල් ඇර තැබිය හැකි අවස්ථාවක එය කිරීම වඩා සුදුසුයි. වායු සමනය කර ඇති ඇගලුම් කරමාන්ත ශාලා වල ඇදුම් වල ඇති වාෂ්පශීලී විෂ සංයෝග සාන්ද්‍රණය වැඩිවෙමින් එක්රැස්වෙමින් පවතින නිසා සේවිකාවන් ඒවාට වඩාත් නිරාවරණ වේ. බොහෝ විට හාර විෂවීම් ලෙස වැරදියට හදුනාගන්නේ මෙම වාතය විෂවීම් බව අපේ රටේ මහාචාර්යවරයෙකු නිතරම පවසන බව මට මතකයට නැගේ. සේවිකාවන් සියලු දෙනාම එක හා සමාන රෝග ලක්ෂණ පෙන්වන විට රෝහල් බලදාරීන් හාර විෂ වීමක් ලෙස පහසුවෙන් ම නිගමනය කරන්නේ ඔවුන්ගේ කෑම බීම එකට සකසා ලබාදෙන නිසායි. නමුත් එය බොහෝ විට නිවරදි නොවන නිගමනයක් බව ඔහුගේ අත්දැකීම බව ඔහු පැවසුවා මගේ මතකයේ ඇත. අපේ අත්දැකීම නම් බොහෝ රෝග ගණනාවකට හේතුවන ගෘහස්ත වායු තත්වය බිඳ වැටීමට තවම අපේ රටේ ප්‍රමාණවත් අවධානයක් ලැබී නොමැති බවයි.

සාරාංශය
අපේ ජීවිතය වැඩිපුරම ගෙවෙන්නේ ගෘහ අභ්‍යන්තරවයි. අපේ රටේ රෝහල්ගත වීම්  වලට ප්‍රධානතම හේතුවක් වන්නේ ගෘහ තුල වාතය ගුණාත්මක නොවීමයි. ගෘහය තුල වායු දුෂක ප්‍රභවයන් තිබෙන විට දොර ජනෙල් හැරදා වාතය හුවමාරු වීමේ සීඝ්‍රතාවය වැඩි කිරීමෙන් මේ දුෂක වලට නිරාවරණය වන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම පාහේ අඩු කරගත හැකිය. දුම් නොබොන ගෘහනියන් සන්ධ්‍යාවේ නිවාස දොර ජනෙල් වසා තුල හඳුන් කුරු දල්වා උදැසන වෙන තෙක් දොර ජනෙල් වසාගෙන සිටීමෙන් සමහර විට දුම් බොන්නෙකුටත් වඩා විෂ දුමට නිරාවරණය විය හැකියි. හදුන් කුරු සාම්බ්‍රානි දල්වනවා නම් හොදින් දොර ජනෙල් ඇර තැබිය හැකි අවස්ථාවක එය කිරීම වඩාත් සුදුසුයි. කෙසේ නමුත් භාහිර වාතය අතිශයින් දුෂණය වී ඇති මහනුවර වැනි ප්‍රදේශවල නම් දොර ජනෙල් ඇර තැබීමෙන් වන්නේ දුෂිත වාතයට වැඩිපුර නිරාවරණ වීමයි. මෙහිදී මා යොදාගත් මොඩලය මෙම සබැඳියෙන් බාගත කරගෙන විවිධ තත්වයන් යටතේ වාතයේ තත්වය සමාකරණය කිරීමට ඔබටද උත්සාහ කල හැකියි. ඇත්ත වශයෙන්ම Indoor Air Quality  යනු මම උසස්  අධ්‍යාපනයේදී උගත් එදිනෙදා ජීවිතයට වඩාත් වටිනාම කොටස යයි මම සිතමි. එය ඉගැන්වූ මහාචාර්යතුමන්ලාට ඒ ගැන පින් සිදුවිය යුතුයි.        
      

17 comments:

  1. මේක කියවනකොට මට ඉස්සර තිබ්බ ෆෝබියාවක් මතක් උනා. ඉස්සර මට දොර ජනෙල් සම්පූර්ණෙන් වැහුවම ඉන්න අමාරුයි. හුස්ම ගන්න බැරිවෙයි කියලා බය හිතෙනවා.හයියෙන් වහිද්දි බස් එකේ ජනෙල් යන්තම් ඇරලා සෑහෙන්න රැවුම් ගෙරවුම් වලට ලක්වෙලා තියෙනවා. අන්තිමට කැම්පස් එකේ මගේ රූමා ලෙඩේ හොද කෙරෙව්වා.

    දැන් බලාගෙන ගියාම indoor air quality ගැන මම පොඩිකාලෙ ඉදලා සැලකිලිමත් වෙලානෙ.

    දැන්නම් indoor air quality මතක් වෙන්නෙ ගමනක් යන්න කලින් කුණු වීසි කරන්න අමතක උනාම.

    මෙහෙම වැඩි දෙනෙක් නොහිතන, ඒත් දැනගත යුතුම දේවල් ගැන ලියන එක බොහොම වටිනවා. ( හිරොෂිමත් ඒ වගේම වටිනවා). තමන් ඉගෙනගත් දේවල් මෙහෙම බෙදාගන්නවට බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මමත් එක වරක් අධ්‍යන සමුළුවකට ප්‍රංශයට ගිහින් එනවිට ඔය කියන කුණු අස් නොකිරීමේ අත්දැකීමට මුහුණ දුන්න. ඒවගේම නාන කාමරයේ විදුලි බල්බ නිවීමට අමතක වීම නිසා ඒවා දින දහයක් පුරා දැල්වෙමින් තිබුනා මම එන විට. ජපානයේ ගුවන්තොටුපොලින් පිටවීමේ මුද්‍රාව තැබූ පසු දැනෙන ඒ සිතිවිල්ල වචනයෙන් විස්තර කිරීමට අමාරුයි කියා මම සිතන්නේ. එමෙන්ම නැවත ඇතළු වීමද නිවසට පැමිණීම හා සමාන සැහැල්ලුවක් ගෙන දෙන්නක්. ඉතින්, සාර්ථක චාරිකාවක් අවසන් කර ඒ සැහැල්ලුව ලැබෙන්න කියා ඔබේ චාරිකාවට සුබ පතනවා.

      මම දන්නා තරමින් දර්ශනවිශාරද උපාධියේදී අපව පුහුණු කලේ පර්යේෂණ හා ප්‍රතිපත්ති සම්පාදනය යන අංශ දෙකම අරමුණු කරගනිමින්. ප්‍රතිපත්ති සම්පාදනය යන කොටස සම්බන්ධව මම තෝරාගත්තේ ජ්‍යාත්‍යන්තර සම්බන්දතා ගැන අධ්‍යනය කිරීමට. හිරෝෂිමා සම්බන්ධව ලියා තිබෙන්නේත් ඒ සඳහා ඉතා මහන්සියෙන් ඉගෙනගත් දේවලින් කුඩා කොටසක්. දර්ශන විශාරදයින්ට පර්යේෂණ වගේම ප්‍රතිපත්ති සම්පාදනයත් එකසේ වැදගත් බවයි මම සිතන්නේ. දෙවැන්න එසේ වැදගත් කරනොගැනීමේ ඵලවිපාක අද අපි දකිමින් සිතන බවත් මම විශ්වාස කරනවා. පුද්ගලිකව ගත් කල මට ඒ අංශ දෙකම එක සේ වටිනා බවයි මම හිතන්නේ.

      අපේ ලිපිය කියවා නොමසුරුව අදහස් දැක්වීමෙන් අපව දිරිගැන්වීම වෙනුවෙන් ඔබටත් බොහොමත්ම ස්තුතියි සඳ වියමන්.

      Delete
  2. "එතනම රැදී සිටියහොත් අප සුවඳට හුරු වීම නිසා අපට එය නොදැනී යයි"
    බුදු අම්මෝ එතකොට කොලොන්නාවෙ කුනුකන්ද අසල මිනිස්සුන්ගෙ නහයවලුත් ඔය සුවඳට හැඩ ගැහිලද.
    කෙන්කියුෂා කුන්, අරිගතෝ, ඔමොෂිරොයි කිජිද.
    -ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. あのさぁ
      そうなんですよ
      どういたしまして

      ඒක නේන්නම්.
      බොහොම ස්තුතියි.

      Delete
  3. ටියුශන් හෝල්,සමහර ආයතන ලෙඩ තවාන් බලාගෙන යනකොට.සමහර ඔෆිස් තියෙනවා සම්පූර්ණයෙන්ම සීල් කරලා හදල තියෙන්නෙ ඒසී කරන්න.නමුත් විදුලි බිල වැඩියි කියලා ඒසී නොදාන,නැත්තම් බාගෙට දාන.හවස් වෙනකොට මිනිස්සු ටික මැරිලා වගේ.
    මෙන්න ඔබට ආරාධනයක්.මෙලමයින්,ඩීසීඩී සහ කිරි නිශ්පාදන.ඔන්න ඕකෙ ඇත්ත කතාව මොකද්ද හැබෑට?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බඩට දාගන්න කන දේ බොන දේ ගැන හැමෝම සැලකිලිමත් වෙනවා. නමුත් පපුවට දාගන්න හුස්ම ටික ගැන දක්වන සැලකිල්ල ඉතාම අඩුයි. වතුර ලීටර් 3-4 ක් දවසට බඩට දාගන්න අතරේ වාතය ලීටර් 11,000 ක් පමණ දවසකට පපුවට දාගන්නවා කියන ඒක අමතක කරන්න හොද නෑ.

      අපේ රටේ ගොඩක් වල AC කතාවත් බොහොම කණගාටු දායකයි. Filter මාරු කිරීම සමහර ඒවගේ සදහටම කරන්නේ නෑ. ඒවගේ පුස් බැඳිලා විෂබීජ පතුරවනවා. ඊට හොඳයි filter නැතුව ම තියෙන එක. අනික circulating AC වල දීත් වාතයේ දුෂක සාන්ද්‍රණය වැඩි වෙවී තියෙන එකයි වෙන්නේ. අපේ රටේ ගොඩක් AC වල make up units නැතිබවයි මගේ දැනුම නම්. Make up air unit තියෙන ඒවගෙත් ඔබ කියනවා වගේ වාතය 10% ක් විතර තමයි හුවමාරු කරන්නේ.

      කිරි ගැන අපි ඉදිරියේදී කතා කරමු මිත්‍රයා. බොහොම ස්තුතියි එහෙම වැදගත් වන මාතෘකා මතු කිරීම ගැන.

      Delete
  4. හොඳ පැහැදිලි කිරීමක්.ඒ වගේම අපි වැඩිය නොහිතන පැත්තක් ගැන පෙන්වා දීම ගැනත් ස්තූතියි.අපේ කාර්යාල පවා තියෙන්නේ අර ගස් ලබ්බ උඩින් කියනවා වගේ සම්පුර්ණයෙන්ම සීල් කරලා.සම්පුර්ණයෙන්ම සීල් කරපු බිල්ඩිමක් ඇතුලේ ඉන්න රඟේ තේරෙන්නේ වායු සමීකරණ වැඩ නොකරන කොට.මම හිතන්නේ අපේ ගොඩනැගිලි නිර්මාණකරුවන් මේ දේවල් ගැන තව දුරටත් සැලකිලිමත් වේනම් හොඳයි කියලායි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      නොර්වේ වගේ රටවලට වැඩිපුර බලපාන ඕසෝන් වියනේ සිදුරු ගැන ඉස්කෝලේ යන ළමයි පවා දැනගත්තට ලංකාවේ රෝහල්ගතවීම් වලට දෙවන වැඩිපුරම හේතුව ලෙස අනුමාන කරන Indoor Air Quality ගැන කොතැනකවත් හරි හැටි කතා නොවීම කණගාටුවක්.

      වායු සමීකරණ වැඩ නොකරන වෙලාවට එ අපහසුතාවය දැනෙන නිසා මිනිස්සු ඒගැන දන්නවා. එත් වායු සමීකරණ වැඩ කරන වෙලාවටත් වලින් circulating AC නම් බොහොම air quality නරක කරනවා. ඉහල air exchange rates පවත්වාගෙන යනකොට විදුලිබිල වැඩිපුර යනවා එළියෙන් ගන්න වාතය එළියේ උෂ්ණත්වයේ සිටම නැවත සීතල කරන්නට වෙන නිසා. ගොඩක් ආයතන air exchange rates බොහොම අඩු කරලා කරන AC තමයි කරන්නේ. හවසට දොර ජනෙල් වහල යන්නේ. ඉතින් වාෂ්පශීලී හානිකර සංයෝග ඇතුලේ එක්රැස් වෙනවා. එළියේ ඉදල ඇතුලට එනවෙලාවට පමණයි ඒ වෙනස ඔබට දැනෙන්නේ.අපේ රටේ ගොඩක් වල AC කතාවත් බොහොම කණගාටු දායකයි. Filter මාරු කිරීම සමහර ඒවගේ සදහටම කරන්නේ නෑ. ඒවගේ පුස් බැඳිලා විෂබීජ පතුරවනවා. ඊට හොඳයි filter නැතුව ම තියෙන එක.

      Delete
    2. ///ඊට හොඳයි filter නැතුව ම තියෙන එක.///
      +++++++

      Delete
  5. සීතල රටවල ජීවත්වෙන කොට ගෙවල් ඇතුලේ වාතාස්‍රය හරියට නඩත්තු කරගැනීම වාතය තරම්ම වාතයක්. හදිසියකට ජනේලයක් අරින්න බැහැ. හීටින් නිසි පිලිවෙලට නොදැම්මොත් තෙතමනය නිසා දිලීර, පුස් වගේ එන නිසා හුස්ම ගැනීමට ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමේ කෑම ගඳ/සුවඳ ගේ ඇතුලෙ කැරකෙනවා. ගෙවල් ඇතුලේ දුම්බීම නොකරන නිසා හොඳයි.

    ReplyDelete
    Replies
    1. සති අන්තේ නිවාඩු දවසකටවත් ඔක්කොම ජනෙල් දොරවල් ඇරලා දාල පැය කිහිපයක් එලියට ගිහින් නැවත ඇවිත් කාමරය මුල සිටම රත්කර ගැනීම තමයි මම නම් කරන්නේ. අනික් අතට ගත්තම සීත හා ග්‍රීෂ්ම කාල දෙකේම මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ විශ්විද්‍යාලයේ clean room එකේ නිසා උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වෙනස් වීමේ ගැටලුව ඒ තරම් දැනිලත් නෑ.

      සීතල කාලෙට තෙතමනය එන්නේ නෑ නේද රස්නේ කාලේ හෝ වහින කාලේ තරම් ? සීත කාලෙට ගෙවල් වල පුස් එහෙම හැදීම බොහොම අඩු බවයි මගේ නිරීක්ෂණය නම්.

      Delete
  6. Replies
    1. ඔව් අරුණ මම ලිපිය කියෙවුවා. කහතුඩුව පැත්තේ එවැනි ඉහල පෙලේ කර්මාන්ත ශාලාවක් තිබෙන බව මම අසා තිබුණ මිත්‍රයෙකු මගින්. ඒ මම එකල මීට සම්බන්ධ වාෂ්පශීලී සංයෝග විශ්ලේෂණය කරන GC-MS ගැන යම් කටයුතු කල නිසා. ඩී. ඒ. පෙරේරා මහතා වැනි රටට පිරිසිදු විදේශවිනිමය ගෙනන හොඳ ව්‍යපාරික මහත්වරුන් අගය කිරීම සහ ඔවුන්ගේ ගැන යම් ලිවීම වටිනා දෙයක්. http://www.eoasorganics.com/ මේ ඒ සමාගම විය යුතුයි කියා මම හිතන්නේ.


      නමුත්, එම ලිපියෙන් ලබාදෙන එකිනෙකට වෙනස් වීස්තර රාශියක් මිස ලිපියෙන් අපට ලබාදෙන ප්‍රධාන පණිවුඩය ඉතා අපැහැදිලියි.

      ඔබ ලිපිය කියවන්න යයි රෙකමදාරු කලේ මීට සම්බන්ධ වාෂ්පශීලී කාබනික සංයෝග නිශ්කර්ශය කිරීමට යොදාගැනීම ගැන මම පෙර ලියු නිසාද ? එසේ නැති නම් නැනෝතාක්ෂනය යොදාගනිමින් ඔවුන් ඖෂධ නිපදවා ඇතිබව සඳහන් වන නිසාද ? හෝ වෙනත් හේතුවක් නිසාද ?

      Delete
  7. ලංකාවෙන් ආවට පස්සේ මේ වගේ දේවල වලට නිමක් නැතුව මුණ දෙන්න වෙලා.. හුස්ම...අපිට තියන හැඩගැසිමේ හැකියාව ගැන නම් මට තියෙන්නෙ පුදුමයක්..

    ReplyDelete
  8. ස්ප්ලිට් වායු සමීකරණ වලදී කිසිම වායු හුවමාරුවක් වෙන්නෙ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මම වායුසමීකරණ ශිල්පය ගැන දන්නා සීමිත ප්‍රමාණය අනුව නම්, කිසිදු split system එකක වාතය හුවමාරුවක් සිදු නොවේ. එහිදී වාතය හුවමාරු කරගැනීම සඳහා වෙනත් ක්‍රමයක් යොදාගත යුතුය. HVAC වැනි duct system වල වාතය හුවමාරුව සිදුකල හැකිය.

      Delete
  9. මේක ඉතාමත් වටිනා අපූරු ලිපියක් .. ගේ ඇතුලේ සිගරට් නොබිව්වට අපිත් සෑහෙන්න හඳුන්කූරු දුම් බොනවා..අදම ගිහිං ගෙදර උන්දට පෙන්නන්න ඕනේ..

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.