Tuesday, May 17, 2016

පදාර්ථයේ සිවුවැනි අවස්ථාව ලෙස (සමහරවිට) හදුන්වන සුපිරිඅවධි තරල. Supercritical Fluids

පදාර්ථයෙන් තැනුණු ශරීරයන් ඇති ජීවීන් වන අපට පදාර්ථය ඉතා වැදගත් වේ. පදාර්ථයේ ඝන, ද්‍රව, සහ වායු යන අවස්ථා තුන ගැන අප සැවොම හොදින් දන්නා බවට කිසිදු සැකයක් නැත. පදාර්ථයේ සිවු වැනි අවස්ථාව ලෙස බොහෝ විට හැඳින්වෙන්නේ ප්ලස්මා අවස්ථාව වේ. සරලව ගත් කල, ප්ලස්මා යනු අඩු පීඩනයක් සහ අධික වෝල්ටීයතාවයක් යටතේ අයනීකරණය වූ වායුවකි. නැනෝතාක්ෂනයේදී ප්ලස්මා යනු වැදගත් මාතෘකාවකි. නමුත්, භෞතික විද්‍යාවේ ගැඹුරු විෂයක් වන ප්ලස්මා ගැන කතාකිරීම පසුවට තැබීම වඩා සුදුසු යයි මම සිතමි.


1. රූපය. ජලයේ කලාප සටහන.

පදාර්ථයේ සිවු වැනි අවස්ථාව ලෙස තවත් සමහර විටෙක සඳහන් වෙන්නේ ද්‍රව හා වායු අවස්ථාවන් අතරමැදි ගුණ දක්වන Supercritical Fluids හෙවත් සුපිරිඅවධි තරල අවස්ථාවයි. සුපිරිඅවධි තරල ද නැනෝතාක්ෂනයේදී ඉතා වැදගත් වේ. සුපිරිඅවධිය ගැන කතාකිරීමට පෙර පදාර්ථයේ ඝන, ද්‍රව, සහ වායු අවස්ථා සලකමු. උදාහරණයක් ලෙස ඝන, ද්‍රව, සහ වායු අවස්ථා තුනම අපට වඩාත්ම හුරු ජලය සැලකීම සුදුසු යයි සිතමි. රූපයෙන් දැක්වෙන්නේ ජලයේ කලාප සටහන (phase diagram) වේ. ජලයේ කලාප සටහන යනු, යම් උෂ්ණත්වයකදී ජලය පවතින්නේ  අයිස්, ද්‍රව ජලය, සහ හුමාලය යන ජලයේ ඝන,ද්‍රව, සහ වායු අවස්ථා වලින් කුමන අවස්ථාවේ/අවස්ථාවන් වලදැයි පෙන්වන ප්‍රස්තාරයකි. අපි 1. රූපයේ ඇති කහ පැහැති  ලක්ෂය ගැන මුලින් අවධානය යොමු කරමු. මේ ජලයේ ත්‍රික ලක්ෂයයි. 1. රූපයේ සුදු-නිල් ප්‍රදේශ අතර ඇති කළු සීමා ඉර මුලින් සලකමු. අයිස් හා ද්‍රව ජලය අතර කලාප මායිම දැක්වෙන අතර මෙහි (Y) අක්ෂය දිගේ ඉහලට යනවිට එනම් පීඩනය වැඩි කරන විට ජලය මිදෙන උෂ්ණත්වය අඩු වන බවයි. සුදු-රෝස ප්‍රදේශ අතර ඇති අයිස් හා හුමාලය අතර කලාප මායිම පෙන්වන කළු සීමා ඉරෙන් දැක්වෙන්නේ (Y) අක්ෂය දිගේ පහලට යමින් පීඩනය අඩු කරන විට අයිස් වාෂ්ප වන උෂ්ණත්වය ද අඩු වන බවයි. මේ තත්වයන්හි දී ඝන අයිස් ද්‍රව බවට පත් නොවී කෙලින්ම ජල වාෂ්ප  බවට පත්වේ. ඝන ද්‍රවයක් ද්‍රව නොවී කෙලින්ම වායුවක් වීම උර්දවපාතනය (sublimation) ලෙස හදුන්වයි. තාප අස්ථායී ද්‍රව්‍යයක ඇති ජලය රත්කිරීමකින් තොරව ඉවත කිරීමට යොදාගන්න "සිසිල්-වියළුම්" (freeze drying) ක්‍රමයේදී යොදාගන්නේ ජලය මිදීමට අසලවා අඩු පීඩනයක් යටතේ උර්දවපාතනය වීමට සැලැස්වීමයි. අපි දන්නා  Nescafe යනු මේ සිසිල් වියලුම් ක්‍රමයෙන් සැකසු කෝපි වර්ගයක වෙළඳ නාමයකි. සිසිල්-වියළුම්  ක්‍රමයෙන් වියලු නෙස්කැෆේ වැනි ද්‍රව්‍ය වායුගෝලයේ තැබුවිට  ඉක්මනින් ජලවාෂ්ප උරාගනී. ඊට හේතුව උර්දවපාතනය වූ අයිස් කැබලි තිබු තැන් වලට අනුරූප කුහර අධික ජලාකර්ශන ගතියක් පෙන්වීමයි. ශාඛ විද්‍යාවේදී ද තාප අස්ථායි ශාඛ කොටස් තාපනයෙන් තොරව වියලා ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කර තැබීමට මෙම සිසිල්-වියළුම් ක්‍රමය සමහරවිට භාවිත කරයි. 

මීලගට ගත් කල, ද්‍රව හා වායු අතරමැදි අවස්තවක් වන සුපිරිඅවධි තරල යන අපේ මාතෘකාවට වඩාත් වැදගත් වන ද්‍රවජලය සහ හුමාලය කලාප මායිම දැක්වෙන්නේ 1. රූපයේ නිල් -රෝස ප්‍රදේශ අතර ඇති කළු ඉරෙනි. පීඩනය වැඩි කරමින් (Y) අක්ෂය දිගේ ඉහලට යනවිට ජලය නටන උෂ්ණත්වයද ඉහල යන බව රූපය අනුව පෙනේ. එසේ ඉහලට ගොස් අවධි ලක්ෂය (critical point) දී ජලයේ සම්ප්‍රදායික කලාප සටහන අවසන් වේ.  


දැන්, අප ජීවිතයේ බහුලවම සිටින අවස්ථාව වන සාමාන්‍ය විවුර්ත වායුගෝලීය පීඩන තතත්වයන් (0.1 M යටතේ උෂ්ණත්වය වෙනස් වීම සලකමු. විවුර්ත  වායුගෝලීය පීඩන තත්වයේදී -10 °C දී ජලය පවතින්නේ ඝන අයිස් ලෙසයි. උෂ්ණත්වය වැඩිකර 0 °C ට ගෙන ආ විට අයිස් සහ ද්‍රව දෙකම මිශ්‍රව පවතී. නැවත උෂ්ණත්වය වැඩිකිරීමේදී 100 °C දක්වාම පවතින්නේ ද්‍රව ජලයයි. 100 °C හි දී ජලය හා හුමාලය මිශ්‍රව පවතී. 100 °C වඩා වැඩි විට පවතින්නේ හුමාලය පමණකි. නමුත් විවුර්ත වායුගෝලීය පීඩන තත්වයේදී හුමාලය බවට පත්වෙන ජලය සියල්ලම සුළගේ ගසාගෙන වෙනත් තැන්වලට යන නිසා 100 °C වඩා වැඩි විට ජලය සිඳී යයි.

අපි නැවත ඉහත ක්‍රියාවලියම සංවෘත භාජනයක තුල සිදුකිරීම සලකමු. මෙහිදී ද අඩු උෂ්ණත්වයේදී වන්නේ බොහෝසෙයින් සමාන ක්‍රියාවකි. නමුත් වැඩි උෂ්ණත්වයේදී සිදුවන ක්‍රියාව පෙර අවස්ථාවට වඩා බොහෝ සෙයින් වෙනස්ය. සංවෘත භාජනයේ හුමාලය පිටවී නොයයි. එනිසා උෂ්ණත්වය වැඩි කරන විට භාජනය තුල පීඩනය වැඩි වේ. මෙවිට, ජලය නටන උෂ්ණත්වය ද ඉහල යයි. ජලය භාජනය තුල ජලය නැටීම සිදුවුණද හුමාලය භාජනයෙන් පිටවී නොයාම නිසා උෂ්ණත්වයත් සමග පීඩනය ද ඉහළයාම මෙහිදී සිදුවේ. මෙසේ උෂ්ණත්වය සහ පීඩනය අවධි ලක්ෂයට වඩා ඉහල ගිය විට ද්‍රව හා වාෂ්ප අවස්ථාවන් දෙකම තවදුරටත් නොපවතී. ඒ වෙනුවට සුපිරිඅවධිය යන එක් අවස්ථාවක් පමණක් පවතී. සරලව බැලුවහොත් මෙහිදී සිදුවන්නේ උෂ්ණත්වය වැඩිවීම නිසා ද්‍රව කලාපයේ ඝනත්වය අඩුවීමත් ඒ සමගම පීඩනය වැඩිවීම නිසා වාෂ්ප කලාපයේ ඝනත්වය වැඩිවීමත් එකවිට සිදුවී, කලාප දෙකෙහිම ඝනත්වයන් එක සමාන වී එකම සුපිරිඅවධි කලාපයක් බවට පත්වීමයි.  සුපිරිඅවධියේ ඇති තරල ඒවායේ සාමාන්‍ය අවස්ථා වලට වඩා තරමක් වෙනස් ගුණ දක්වයි. මේ වෙනස් ගුණ නිසා සුපිරිඅවධි තරල බොහෝ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනී.




1. වීඩියෝ දර්ශනය. උෂ්ණත්වයත් සමග CO2 සුපිරිඅවධියට පත්වීම සහ ආපසු ද්‍රව-වායු කලාප වලට වෙන්වීම. 


CO2 සහ ජලය සුපිරිඅවධි තරල අවස්ථාවේ බහුලවම භාවිත වෙන සංයෝග දෙකකි. ඒවායේ පරිසර හිතකාමී බව සහ ගිනිගන්නා සුළු නොවන බව ඊට ප්‍රධාන හේතු වේ. CO2 වැනි වායුවක් සුපිරිඅවධියට ගෙන ඒමට නම් සංවෘත භාජනයක් අවධි උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයක පවත්වාගන්නා ගමන්ම අධි පීඩන පොම්ප යොදාගෙන වායුව භාජනයට තුලට දිගටම පොම්ප කිරීමෙන්, පීඩනය අවධි පීඩනයට වැඩි අගයකට ගෙන ආ යුතුය (1. වීඩියෝ දර්ශනය). CO2 හි අවධි උෂ්ණත්වය 33.1 °C වන අතර අවධි පීඩනය 7.38 MPa  වේ. ජලය වැනි ද්‍රවයක් සුපිරි අවධියට ගෙනයාම ඉතා පහසු නමුත් ඒ සඳහා අධික උෂ්ණත්වයකට හා පීඩනයකට ඔරොත්තු දෙන කුටීර අවශ්‍ය වේ. ජලය එවැනි ආරක්‍ෂිත සංවෘත භාජනයක් තුල රත්කරන විට උෂ්ණත්වයත් සමග වාශ්පවීම වැඩි වීම නිසා පීඩනය ඉහල යයි. මෙය ස්වයංජනිත පීඩනය (autogenous pressureලෙස හදුන්වයි. ජලයේ අවධි උෂ්ණත්වය 373.9 °C වන අතර අවධි පීඩනය 22.06 MPa වේ.

සුපිරිඅවධි තරලවල සමහර යෙදීම් 

1. ස්වභාවික සංයෝග නිස්සාරණය (Natural products extraction)
සුපිරිඅවධි තරල වල ඝණත්වය වායුවකට වඩා වැඩිවන අතරම ද්‍රවයකට වඩා අඩු යම් පරාසයක් තුල වෙනස් කරමින් එවායේ ගුණ වායු සහ ද්‍රව අවස්ථා අතර සුසර කල හැකිය. උදාහරණයක් ලෙස සුපිරිඅවධියේ ඇති CO2 වල ඝනත්වය 0.23 – 0.66 g/ml පරාසයක සුසර කල හැකිය. යම් ද්‍රව්‍යයක ඝනත්වය යනු ඒකක පරිමාවක පවතින ස්කන්ධය, වක්‍රව ගත් කල  හෝ අණු ප්‍රමාණය වේ. ඒකක පරිමාවක වඩා වැඩි වැඩි අණු ප්‍රමාණයක් පවතින විට අණුක අන්තර්ක්‍රියා වැඩිවීම නිසා තරලයක් තුල යම් ද්‍රව්‍යයක් දිය කරගැනීමේ හැකියාව වැඩි වේ. මෙනිසා සුපිරිඅවධි තරලවල යමක් ඒ තුල දියකර ගැනීමේ හැකියාව එහි වායුමය අවස්ථාවේ එම හැකියාවට වඩා බෙහෙවින් වැඩිය. මෙනිසා, කෝපි වල ඇති කැෆේන් නම් සංඝටකය ඉවක් කිරීම සඳහා සුපිරිඅවධි CO2 යොදා ගැනේ. මෙහිදී කෝපි සහ සුපිරිඅවධි CO2 මිශ්‍රකර කැෆේන් COතුල දියවූ පසු කෝපි ඇට වෙන්කර ගැනීම සිදුවේ. ඉන්පසු පීඩනය නිදහස් කර CO2 වායුව මුදාහැරිය පසු කෝපිවලට වලින් COවායුව සම්පූර්නයෙන්ම ඉවත්වේ. මෙසේ කිසිදු හානිකර ද්‍රවයක් නොයොදා කෝපිවල කැෆේන් ඉවත් කිරීම සුපිරිඅවධි තරල මගින් සිදු කල හැකිය. (මීට පෙර කෝපි වල කැෆේන්  ඉවත් කිරීම සදහා යොදාගත්තේ ඩයික්ලෝරෝමීතේන් එතිල් ඇසිටේට් වැනි විෂ සහිත කාබනික සංයෝගයි.) මෙයාකාරයෙන් කුරුඳු තෙල් කරාබුනැටි තෙල් වැනි සඝන්ධ තෙල්වර්ග පරිසර හිතකාමීව සහ කාර්යක්ෂ්‍යමව නිස්සාරණය කරගැනීමට ද සුපිරිඅවධි තරල තාක්ෂණය යොදාගත හැක. නමුත්, මෙම ක්‍රමය අපේ රට තුල තවම බොහෝ ප්‍රචලිත නැත. ඊට හේතුව සුපිරිඅවධි තරල අවස්ථාව ලබා ගැනීම සඳහා අවශ්‍ය අධික පීඩනයට ඔරොත්තුදෙන මෙවලම් වල මිල අධිකවීමද විය හැකිය. අනෙක් අතට ගත්කල ශ්‍රී ලාංකික රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු ක්‍ෂේස්ත්රයේ මහාචාර්යවරු පවා පැරණි හුමාල ආසවන ක්‍රමය කෙරිහි වඩා වැඩි විශ්වාසයක් තවම තිබීම ද මීට හේතුවිය හැකිය. කෙසේ වුවද දැනට වසර කිහිපයකට පෙරද කාර්මික තාක්ෂණ ආයතනයේ සුපිරිඅවධි නිස්සාරණ යන්ත්‍රයක් තිබු බව මගේ මතකකයි. එය යොදාගෙන සමන් පිච්ච මල් වල සුවඳවත් සංයෝග නිස්සරණය කිරීමේ පර්යේශණයක් එවකට සිදුවූ බව මගේ මතකයේ තිබේ.

2. ජලය පිරිසිදු කිරීම (Supercritical Water Oxidation)
සුපිරිඅවධි ජලයේ ඝණත්වය ද්‍රව ජලයට වඩා බෙහෙවින් අඩුවේ. එමනිසා, සුපිරිඅවධි ජලයේ තුල යමක් දියකරගැනීමේ හැකියාව එම නිසා ද්‍රව ජලය තුල යමක් දියකර ගැනීමේ හැකියාවට වඩා බෙහෙවින් අඩුය. ද්‍රවජලයේ දියවී ඇති ලවණ වර්ග සුපිරිඅවධියේදී දියනොවී ඝන වශයෙන් පතුලේ තැන්පත් වේ. එමෙන්ම සුපිරිඅවධි ජලය තුල ඔක්සිජන් වැඩිමනක් දියකළ හැකිය. මෙනිසා ජලයේ දියවී ඇති කාබනික සංයෝග සුපිරිඅවධි ජලය තුලම දහනය කිරීමෙන් බවට පත් කල හැක. එනම් ජලයේ ඇති අකාබනික හා කාබනික අපද්‍රව්‍ය  සුපිරි අවධියේදී පහසුවෙන් ඉවත්කළ හැකිය. නමුත් මෙම ක්‍රමය වියදම් සහිත බැවින් වැඩිවශයෙන් භාවිත නොවේ. මගේ දැනුම අනුව මෙම ක්‍රමය වැඩිපුරම යොදාගන්නේ ජපානයයි.

3. තාක්ෂණික යෙදීම් (Technical Applications)
සුපිරිඅවධි තරල නැනෝ අංශු සංස්ලේෂණයට ද බොහෝ වැදහත් පරිසර හිතකාමී ක්‍රමයකි. මගේ ආචාර්ය උපාධිය සදහා මවිසින් කරන ලද පර්යේෂණයේ ප්‍රධානම කොටස වුයේ සුපිරිඅවධි තරල යොදාගනිමින් ලෝහඔක්සයිඩ නැනෝඅංශු සංස්ලේෂණය කිරීමයි. මෙමෙ ක්‍රමයේ (සමහර) පුරෝගාමීන් වන්නේ ජපානයේ තෝහොකු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තදෆුමි අද්ස්චිරි, ප්‍රංශයේ බොර්දෝහ් විශ්විද්‍යාලයේ මහාචාරය ජෙරාඩ් දමෙසෙවූ සහ මහාචාර්ය සිරිල් අයිමොනියර් වැනි අයයි. අහ්යන්තර කුහරයක් සහිත නැනෝඅංශු සංස්ලේෂණය කිරීම සඳහා දැනට ලෝකයේ ඇති වේගවත්ම ක්‍රමය සුපිරිඅවධි තරල යොදාගනිමින් සොයාගත්තේ මම  එවකට මම අයත්වූ පර්යේෂණ කණ්ඩායමයි. 

සුපිරිඅවධි තරල යොදාගනිමින් කාබනික සංයෝග සංස්ලේෂණය කිරීම ද සිදුවේ. බහුඅවයවීකරණය (polymerization) කිරීමේ මාධ්‍යක් ලෙස ද සුපිරිඅවධි තරල යොදාගත හැකිය. දැනට යොදාගන්නා සිලිකේට පදනම් වන අවුරුදු දහස් ගණනක් පැරණි වූ පොර්ට්ලන්ඩ් සිමෙන්ති වෙනුවට සුපිරි හා අතුරු අවධි තරල මත පදනම් වන  කාබනේට් කොන්ක්‍රීට් ක්‍රමයක් නිවුජර්සි ජනපද විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රිචර්ඩ් රීමන් හදුන්වාදී ඇත. වායුගෝලීය කාබන් ග්‍රහණය කරගනිමින් තිරසාර සංවර්ධනයක් සඳහා අතිශය වැදගත්කමක් පෙන්වන මෙම hydrothermal liquid phase densification (rHLPD)   ක්‍රමය සදහා පේටන්ට් බලපත්‍රය සබැඳියේ දැක්වේ. සුපිරිඅවධි තරල තාප හුවමාරුව සඳහාද යොදාගතහැකි මාධ්‍යයකි. රසායනික විශ්ලේෂණය සඳහා යොදාගන්නා වායු වර්ණලේඛ-ස්කන්ධ භේද දර්ශක (GC-MS) ක්‍රමය සඳහා සුපිරිඅවධිතරල වර්ණලේඛ-ස්කන්ධ භේද දර්ශක (SFC-MS) ක්‍රමය වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. 

සාරාංශය              
සුපිරිඅවධි තරල (Supercritical Fluids) යනු අධික පීඩනයක් සහ/හෝ අධික උෂ්ණත්වයක් යටතේ පවතින වායු සහ ද්‍රව අවස්තාවන් අතරමැදි ඝනත්වයක් ඇති තරලයකි. මේවායේ ඝනත්වය වායු සහ ද්‍රව අතර අගයන්ට සුසර කල හැකිය. බහුලවම භාවිත වන පරිසරහිතකාමී සුපිරිඅවධි තරල නම් CO2 සහ ජලය වේ. මෙම සුපිරිඅවධි තරල විවිධ තාක්ෂණික යෙදීම්හිදී බොහෝ ප්‍රයෝජනවත් වේ. නුදුරු අනාගතයේ දී සුපිරිඅවධි තරල තාක්ෂනය එදිනෙදා උපකරණ වලටද ඇතුලත් වීමට බොහෝ ඉඩකඩ ඇති බව පෙනේ.     

32 comments:

  1. කෙන්කියුෂා(Researcher)(研究者)
    ජපානෙද ඉන්නෙ? ඉගෙනගත්තෙ? කොහෙද ?
    - ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඔවු. මම ජපානේ ඉන්නේ "ජපන් ඇනෝ". ඉගෙන ගත්තේ ලංකාවේ සහ ජපානේ.

      Delete
    2. සොරි, අහපු විදිය තැපලුනා
      ජපානෙ කොහෙද ඉන්නෙ කියල ඇහුවෙ
      - ජපන් ඇනෝ

      Delete
    3. ජපන් කතාවක්.. හැක්..

      Delete
    4. 日本のあのさんすみません。
      日本に住んでいるので,住んでいるところを教えるのは難しいです。

      Delete
  2. ඔයාගේ වැඩේ කරගෙන යන්න නැනෝ... මේ සටහන් කෙදිනක හෝ වැදගත් වේවි.. වචනේ ඔය හොදට ඇව්ත් තියෙන්නේ.. නියමයි.

    ReplyDelete
    Replies
    1. දේශා, මේ දේවල් වැඩිවැඩියෙන් ලංකාවේ කෙරෙනකොට සිංහලෙන් ඒවා කියවන්නත් කවුරුහරි ඉදීවි. දැන් ඔය තාක්ෂණ පීඨ එහෙම පටන්ගන්නවනේ. ඉස්සර සිංහලෙන් ලියවන්න කවුරුවත් හිටියේ නැති වුනාට දැන් දැන් ඒවා සිංහලෙන් ලියවෙනවනේ. අපි කොයිතරම් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අපිට අලුත් දෙයක් ඉගෙනගන්නකොට ඔලුව කැක්කුම නොහැදී කියවන්න පුළුවන් සිංහලෙන් නේ

      අඩුම ගණනේ මෙහෙම දේවල් තියෙනවා ඒවා මෙහෙම යොදාගන්නවා කියල කවුරුහරි දැනගන්නවා නම් එයින් මම දැනට සෑහීමට පත්වෙනවා.

      Delete
  3. මගේ මැටි මොළේට මේ ඔක්කොම තේරෙන්න නම් තව දෙතුන් පාරක් නිදහස් මනසකින් කියවන්න වෙනවා. ඒත් මම මම නිතර පාවිච්චි කරන freeze drier එකේදි වෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගත්තා. ඒකවත් මදෑ. තව freeze dry කරපු sample මනිනකොට වාතයට නිරාවරණය වුණොත් මොකද වෙන්නෙත් කියලා තේරුම් ගත්තා. අදට ඔය ඇති.

    ස්තූතියි කෙන්කියුෂා. ඔයා දිගටම ලියන්න. මේ දේවල් කාටහරි ප්‍රයෝජනවත් වෙනවා

    ReplyDelete
    Replies
    1. මම නිකං ජපන් සැට් එකක් මැද්දට පැනපු බූරුවා වගේ නේද දැං.. හැක්

      Delete
    2. ජපන් සෙට් එකක් නෙවෙයි, මේත් ලංකාවෙ සෙට් එකක්.

      ඒ උනාට "ජපන් සෙට් එකක් මැද්දට පැනපු දේශා වගේ" කියලා ලස්සන පිරුළක් හදන්න පුළුවන් දේශගෙ කමෙන්ට් එකෙන්

      Delete
    3. සඳ වියමන්, මෙහෙම දේවල් තිබෙනවා කියන එක කෙනෙක් දැනගත්තත් දැනට මම සෑහීමට පත්වෙනවා. (කෙනෙක් කිවේ ඔයා වගේ පර්යේෂකයෝ නොවෙයි.)

      Delete
    4. දේශා, ජපානේ හිටපු සමාජිකයෝ බහුතරයක් ඉන්න සමහර පීඨ වල ඉන්න වෙනත් රටවලින් ඉගෙනගෙන ආපු අය ඔය කතාවම කියන බව මම අහල තිබෙනවා. ජපන් කතාවක් ලියන්න ඉන්නේ ඊලගට නම්. හිරෝෂිමා ගැන සහ ජනාධිපති ඔබාමා මහතාගේ සංචාරයත් එක්ක මතුවෙන දේශපාලන තත්වයන් ගැන.

      Delete
    5. ඒකත් බලමුකෝ..

      @ සං වියමං

      ඔය දැරිවිගේ පේස්බුක් පේජ් එකත් මම දැක්කා අද... වෙලාවක එන්නංකෝ රික්කෙවස්ට් එකකුත් දාගෙනම.. හැක්

      Delete
    6. @කෙන්කියුෂා,
      වැසූ භාජනයක ( නිවරදි වචනය ටයිප් කරන්න බෑ) ද්‍රව-වාෂ්ප-සුපිරි තරල- අවස්ථාවක්ද pressure cooking වලදි භාවිතා වෙන්නෙ?.

      @දේශා..,, මට ඔය සමහර කමෙන්ට් විතරක් පේන්නැති ලෙඩක් තියෙනවා

      Delete
    7. @කෙන්කියුෂා, ඉස්සෙල්ලා කියන්න අමතක උනා, පලවෙනි ජේදෙ අන්තිම හරියෙ " ප්ලස්මා" ටයිප් වෙලා තියෙන්නෙ " ප්ලාස්මා" විදිහට.
      ප්ලස්මා සහ ප්ලාස්මා කෙස්-කොස් වගේ නිසයි කිව්වෙ.

      Delete
    8. සඳ වියමන්, දරුණු ගනයේ වැරදීමක්. ස්තුතියි පෙන්නුවට. හැදුවා.

      පීඩන උදුනේ මුලින් කරන්නේ ඒ තුල ඇති බඳුනේ වාතය වෙනුවට ජලය හෝ තෙල් වාෂ්ප පිරේන්නට ඉඩහැරීම. (මේටික වෙනකන් ඉන්නේ නැතුව පීඩන වැල්වය වැසුනොත් බඳුන තුල වාතය රැදීම නිසා පීඩන උදුනේ උපරිම කාර්යක්ෂම තාවය ලැබෙන්නේ නෑ.) ඊට පස්සේ බඳුන සන්වුර්ත කරලා රත්කිරීමේ දී වාෂ්ප පීඩනය ඉහල යන නිසා බඳුන තුල උෂ්ණත්වය වායුගෝලීය පීඩනයේ දී ලබාගතහැකි උපරිම උෂ්ණත්වයට වඩා මදක් ඉහල යනවා. මේ වැඩි උෂ්ණත්වයත් අධික වාෂ්ප ඝනත්වයත් නිසා තමයි පීඩන උඳුනේ කෙටි කාලයකින් අහාර පිසගන්න පුළුවන් වෙන්නේ.

      පීඩන උදුන භාවිත වෙන්නේ වායුගෝලීය පීඩනය වගේ 2 ගුණයක පීඩනයක් සහ 120 °C වගේ උෂ්ණත්වයක් යටතේ. ජලය Supercrictical conditios වලට එන්න වායුගෝලීය පීඩනය වගේ 218 ගුණයක විතර පීඩනයකුත් වගේ අධික උෂ්ණත්වයකුත් ඕනේ. මෙවැන්නක් පුපුරා ගියොත් කුඩා බෝම්බයක් වගේ. පීඩනය වැඩිකමට මලනොබැදෙන වානේ ට්යුබයක් වුනත් දික් අතට දෙකට පැලී යන අවස්ථා තිබෙන්න පුළුවන්. පීඩන උදුන් වගේ එදිනද උපකරණ වලට මේ තාක්ෂනය එන්න තව කුඩා කාලයක් යාවි කියලයි මම හිතන්නේ.

      ඔයාල සමහරවෙලවට පාවිච්චි කරන autoclave වල නම් supercrictical conditions වලට යන්න පුළුවන්.

      Delete
    9. ස්තූතියි කෙන්කියූෂා ඒ පැහැදිලි කිරීමට. මට කියවනකොට, "මේකෙ වෙනවා ඇත්තෙ මෙහෙම දෙයක්දෝ කියලා හිතුන එකක් තමයි ඔය ඇහුවෙ. ..අවබෝධය හිතාගන්න පුළුවන්නෙ ප්‍රශ්ණෙන්.

      මං මුලින්ම කිව්වනෙ මං කොටස් වශයෙන් තේරුම් ගන්නෙ කියලා. ඒ නිසා දැන් තව ප්‍රශ්ණයක්. (මැටි ප්‍රශ්ණ අංක 2)

      අපි නිතර Dry Ice පාවිච්චි කරනවා. ඒකෙ මූලධර්මය ඔයා මේ අන්තිම හරියෙ විස්තර කරන,වායු-ඝණ සංසිද්ධියක්ද?

      Delete
    10. ඔයාල, dry ice යොදාගන්නේ මොකටද කියන එක පැහැදිලි නැති නිසා හරියටම කියන්න අමාරුයි. Dry ice කියන්නේ ඉතින් frozen CO2 නේ. Dry iceවල එක වාසියක් නම් ක්ෂණිකව freeze කරගන්න පුළුවන්. ඒවගේම ඔයාලා කැමති -80 °C (-78.5) කිට්ටුවටම යන්න පුළුවන් වලින්. අනික Ice ඉතින් දිය වුනාම වතුරවලින් සාම්පලය contaminate/dilute වෙන්න පුළුවන් වුනාට ඉතින් dry ice ඉතින් sublimate වෙන නිසා, මොකුත් ඉතුරු නොවෙන නිසා contamination එකක් වෙන්නෙත් නෑ.

      අපි නම් liquid nitrogen (-196 °C) ගොඩක් පාවිච්චි කරන්නේ . එකේ ඉතින් පොඩි අවාසියක් තමයි ඔක්සිජන් වායුවේ boiling point එක නය්ට්‍රජන් වායුවේ boiling point එකට වඩා වැඩි නිසා liquid nitrogen තුල oxygen දියවීමෙන් artifacts ඇති වෙන්න පුළුවන් වීම. ඒක අපිට නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි sampling site වලට dry ice ගෙනියන්න ලේසියි නේද liquid nitrogen වලට වඩා ?

      Delete
    11. අපි liquid nitrogen පාවිච්චි කරන්නෙම නෑ. ඒ ඇයි කියන එකට හේතුව මං ඔයාගෙ උත්තරෙන් දැනගත්තා. Dry ice හැමදේටම වගේ පාවිච්චි කරනවා ඔයා ඔය කියලා තියෙන හේතුව නිසාම. අපිට "සුයිබුන්" හරිම වැදගත් නිසා අයිස් පාවිච්චියට වඩා ඩ්‍රයි අයිස් හැම අතින්ම හොදයි, ඉක්මනින් නරක් වෙන පටක කොටස් කූල් කරගන්නත්.

      අපිට ඕනි ගොඩක් කෙමිකල් -20 හෝ ඊටත් අඩු උෂ්ණත්ව වල තියෙන්න ඕනි නිසා ලැබෙන්නෙ ඔය ඩ්‍රයි අයිස් පෙට්ටියක දාලා. කෙමිකල් 10 micro g වගේ එවන පෙට්ටි වල අයිස් කිලෝ තුන හතරක් තියෙනවා. ඒ ඔයා කියන -80 ට ගන්න පුළුවන් නිසා.

      මං ඇහුවෙ ඒක නෙවෙයි. Dry iceකියන්නෙ Frozen-CO2 කියලා දන්නවා. ඔයාගෙ ලිපිය කියෙව්වම මං හිතුවා ඩ්‍රයි අයිස් කියන්නෙ ඒ සරල අදහසට වඩා එහා ගිය පොරක්ද කියලා. ඒක එහෙම නෙවෙයි කියලා ඔයාගෙ උත්තරෙන් පැහැදිලියි.

      ගොඩක් වෙලාවට අපිට ඒකෙ කාර්ය විතරක් වැදගත් වෙන උපකරණ වගේ ඒවයෙ ක්‍රියාකාරිත්වය ගැන අදහසක් නැතුව වැඩ කරනවා. හොදම උදාහරණෙ Freeze drier.ඒකෙ dry කලාම oven එකේදි වගේ උෂ්ණත්වය නිසා අපිට මනින්න ඕනි ඒවා විනාශ වෙන්නෑ කියලා දන්නවා. එච්චරයි.Manual එකේ තියෙනවා පීඩනය 25 ට අඩු වෙනකල් ඉදලා Run කරන්න කියලා. (අපි කරන්නෙ 500 ට විතර අඩු වෙනකල් බලා ඉදලා, එතනින් එහාට වේගෙන් අඩු වෙනවා කියලා පෙනුනම බට්න් එක ඔබලා යන එක ). හේතුව.....අපිට පීඩනය අඩුවීම අවශ්‍ය ඇයි කියලා නොතේරීම.
      ඉතිං මේ මං වගේ තවත් අය ඇතිනෙ. ඒ අයට ඔයාගෙ මේ සටහන් අද හෝ කවදා හෝ වැදගත් වෙයි. වටිනාම දේ ලියා තැබීම. ඒ නිසා දිගටම ලියන්න.

      අපි ඇරෙන්න වෙනත් ගොඩක් ජාතීන්ට ඔවුන්ගෙ භාෂාවෙන් මේ හැමදේම තියෙනවා කියවගන්න. ඔයා ඔය පැහැදිලි කරලා තියෙන දේ ඉංග්‍රීසියෙන් කියෙව්වනම් Technical terms එක්ක ඕවා තේරුම් ගන්න අමාරුයි (මේ සිංහලෙන් ලියලා තේරිලා තියෙන හරිය තේරෙනවනෙ ). තේරුම් ගන්න දෙයක්වත් මතක හිටින්නෙත් නෑ.

      ඉඩ ඇති වෙලාවක "ඉකොනොමැට්ටාගේ බොජුන්හලට/ www.economatta.blogspot.com" ගිහින් බලන්න (දැනට යන්නෙ නෑ කියලා මට හිතිලයි මේ කියන්නෙ ).ඒකෙ ඔබ කැමති විදිහෙ බොජුන් තිබෙන බව මට විශ්වාසයි.

      Delete
    12. //මං ඇහුවෙ ඒක නෙවෙයි. Dry iceකියන්නෙ Frozen-CO2 කියලා දන්නවා.//
      හපොයි ඔයා වගේ වෘතීයමය පර්යේෂකයෙක් ඒක නොදන්නා බවක් හිතල නෙවෙයි එහෙම ලිව්වේ. කොමෙන්ට් කියවන වෙන කෙනෙකුට උදව්වටයි ඒක ලිව්වේ. ඔයා දන්නේ නෑ කියල බොරුවට කිව්වට ඔය ගොඩාක් දේවල් දන්නා බව ඉතින් මට නොතෙරෙනවයැ.

      මම ශිෂ්‍යයෙක් කාලේ මේ ගොඩක් දේවල් වල මුල ඉගෙනත්තේ ලංකාවේ හිටපු පරණ ටෙක්නිකල් ඔෆිසර් මහත්තුරුන්ගෙන්. කෙමිකල් ඇනලිසිස් ඉන්ස්ට්රුමන්ට් වල මුලධර්මවල ඉදලා තියෙන මිකැනිකල් සෙටප් සහ ඉලෙක්ට්‍රොනික්ස් හැමදේම පුළුවන් තරමින් මම පරණ ඉන්ස්ට්රුමන්ට් ගලවලා ඉගෙන ගත්ත ඒ කාලේ (ඒ කාලේ මට යාලුවෝ හිනාවුනාට දැන් එයාල හිනාවෙන එකක් නෑ මම හිතන්නේ). දැන් ඉතින් ඒවා තනියම කියවලා සම්පූර්ණ කරගන්නවා. මැෂින් ගැන විශ්වාස නොකරන්නේත් නවීන තාක්ෂණය සීමාසහිතයි කියල මම හැමතිස්සෙම කියන්නේත් ගොඩක් දේවල් වල මිකැනිසම් ටිකක් හෝ තෙරුම්ගතිපු නිසා. මමත් දන්නවා, ජපානේ ඉන්නකොට අපිට වෙන ලොකු පාඩුවක් තමයි යුසර් මැනුවල් කියවන්න බැරිකමෙන් මැෂින් ගැන දැනුම අඩුවෙන එක.

      //අපි ඇරෙන්න වෙනත් ගොඩක් ජාතීන්ට ඔවුන්ගෙ භාෂාවෙන් මේ හැමදේම තියෙනවා කියවගන්න.//
      ඒ ගැන නම් මොකට කියනවද ? අපි මුලින්ම ඇවිත් කොම්පියුටරේට එක ගන්නකොටත් ජපන් ළමයි බලන්නේ පුදුමයෙන් නේ ?

      //"ඉකොනොමැට්ටාගේ බොජුන්හලට/ www.economatta.blogspot.com" ගිහින් බලන්න//
      එයා මගේ බ්ලොග් රෝලෙත් ඉන්නවා. මම ඉගෙන ගන්න කැමතිම විෂයක්.

      Delete
    13. Sorry.
      කොම්පියුටරේට *English OS* ගන්නකොටත් ජපන් ළමයි බලන්නේ පුදුමයෙන් නේ ?

      Delete
  4. ලියලා තියන්න. කවදා හරි, කාට හරි නිසි ප්‍රයෝජනයක් ලැබෙයි. ඉගෙනගන්න අයට ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ. අඩුම ගණනේ කීපදෙනෙක් හරි මොනවා හරි අලුතෙන් දැනගනීවි. අනික ඉතින්, ලියපු ටික මා ළඟ තියෙනවනේ ඉදිරි දවසක ප්‍රයෝජනයට ගන්න.

      Delete
  5. ආසාවෙන් කියෙව්වෙ.. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා කියල වත් දැනගත්තෙ මේ පෝස්ටුව නිසා... ඉතාමත් වැදගත් විය හැකියි ඉදිරියේදි.දැං ඉන්නෙ පට්ට වේගෙන් ඉගෙනගන්න අය නෙ.. දිගටම මේ වගේ වටිනා පෝස්ට් බලාපොරොත්තු වෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිමත් කිරීමට. මේවා කියවන ප්‍රමාණය අඩු වුනත්, අපට යුතුකමක් තියෙනවා මිනිස්සුන්ගේ බදු වලින් සහ සමාගම් වලින් අපිට ලැබෙන පර්යේෂණ අරමුදල් අරගෙන පර්යේෂකයෝ මොනවා කරනවද කියලවත් කියවන්න කැමති කෙනෙකුගේ දැනගැනීමට ලියල තියන්න.

      ඔබ උනන්දුවෙන් කියවූ බව දැන ගැනීමත් සඳ වියමන් නොදන්නා දෙයක් ඉගෙනගත් බව කීමත් තවත් අළුත් දෙයක් ලියා තැබීමට මට ලොකු උනන්දුවක් ඇති කළා.

      Delete
  6. සරළ බසින් විස්තර කෙරෙන සංකීර්ණ විද්‍යාත්මක සංසිද්ධියක් !! ජයවේවා !!

    ReplyDelete
  7. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මේ වගේ සංකීර්ණ විද්‍යා සංකල්ප සරල බසින් පැහැදිලි කිරීම ලොකු සේවයක්.
    සිංහ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීමට මෙන්ම ඔබට මගේ ලිවීම පැහැදිලි වූ බව දැනගැනීමට සැලස්වීමටත්.

      තවත් යමක් ලියන්නට ඔබේ අගය කිරීම මා දිරිගැන්වුවා.

      Delete
  8. කෙන්කියුෂා පරක්කු ඇයි කියලා මං බල බල හිටියේ, ඔයා කියනවා වගේ කවදාහරි මේවා සිංහලෙන් ලියලා තියන එක වැදගත් වෙයි..

    ReplyDelete
    Replies
    1. ලියල දවස් කීපයක් වුනා. සිහින දකින්නී අපට අදහස් දක්වන්න පරක්කු මොකද කියල මමත් බැලුවේ.

      Delete
    2. කෙන්කුයුෂා.. දෙවනි සැරේට ලිපිය කියවද්දි මට මතක් උනා මගේ පියා අපිට මුලින්ම "සංවහන ධාරා" ගැන කියාදුන් හැටි.. එතකොට මං 5 වසරේ හරි 6 හරි. අපේ ගෙදර පුරුද්දක් විදිහට උයන වෙලාවට අම්මා විතරක් නෙමේ කුස්සියේ ඉන්නේ.. අපි ඔක්කොම. අන්න ඒ වගේ වෙලාවක තේ හදන්න වතුර රත් කරන වෙලාවක තමයි ඔහු අපිට ඒ ගැන පැහැදිලි කරල දුන්නේ..
      ඔහුට තිබුනා පුංචි විද්‍යගාරයක් ගෙදරම..

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.