Saturday, August 13, 2016

සමුරායි සමයේ ජපන් ඉතිහාසය

අනාගතය නිර්මාණය වන්නේ ඉතිහාසය මතින් බව විශ්වාස කරමි. ඉතිහාසයේ සිදුවූ හොඳ දේ නැවත නැවත සිදුවීමට සැලැස්වීමටද නරකදේ නැවත නැවත සිදුවීම වැලක්වීමටද ඉතිහාසය එලෙසින් දැනසිටීම මහෝපකාරී වනු ඇත. එහෙත්, ඉතිහාසය තිබෙන්නේ අනාගතය වෙනුවෙන් අධ්‍යනය කිරීමට හා විශ්ලේෂණය කිරීමට මිස උජාරුව පෙන්වමින් කයිවාරු ගැසීමට හෝ ගරහමින් අවනම්බු කිරීමටද නොවන බවද මගේ සිතිවිල්ලයි. අනෙක් අතට, ශ්‍රී ලංකාවේ අනවශ්‍ය ලෙස තරගකාරී සීමා සහිත රාජ්‍ය අධ්‍යාපන ක්‍රමය තුලින් පැමිණි මට ලෝක ඉතිහාසය මෙන්ම ලෝකය ගැන බොහෝ නොදන්නා දේ ඉගනීමට ලැබුනේ ජපානයේදී මුණගැසුණු ගුරුවරයෙකුගෙනි. මට මුණගැසුණු වඩාත්ම වැඩිපුර ඇසු පිරු තැන් තිබුන ඔහු ලෝකයේ රටවල් 66ක නගර 160ක පමණ ජීවත් වූ "හොකයිඩෝ ෂින්බුන්" පුවත්පතේ දේශපාලන කොලම වසර ගණනාවක් තිස්සේ ලියු; ජනපති බිල් ක්ලින්ටන්ගේ කාලයේ ධවල මන්දිරයේ වාර්තා කරු ලෙස කටයුතු කල අයෙකි. ශ්‍රී ලංකාවේ යුද්ධයද, ගල්ෆ් යුද්ධද, ඇෆ්ගනිස්ථාන යුද්ධද ඇතුළුව බොහෝ යුධපෙරමුනු වලට ගොස් තොරතුරු ලියු ඔහු MIT Knight Science Fellowship ලැබූ අයෙකි. ආචාර්ය උපාධියක් හැදෑරීමේ ප්‍රධාන අරමුණු දෙක ලෙස පර්යේෂණ කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදනය බව මා මුලින්ම උගත්තේ ඔහුගෙනි. නැනෝ තාක්ෂනය ගැන ආචාර්ය උපාධිය හදාරන අතරතුර මම ඔහුගෙන් ජ්‍යාත්‍යන්තර දේශපාලනය ගැන උගත්තෙමි. එහිදී, ජපානයේ නුතන දේශපාලන ඉතිහාසය මා සිත්ගත් මාතෘකාවක් විය. ජපානයේ නුතන ඉතිහාසය ගැන සිංහල භාෂාවෙන් එතරම් ලියවී නොමැති බැවින් එය මෙසේ හැකි අයුරින් ලියා තබමි.


වසර 1505 දී ලොරෙන්සෝ ද අල්මෙඉද ඇතුළු පෘතුග්‍රීසි නාවිකයන් ගාල්ලට ගොඩබසින ලදී. ශ්‍රී ලංකාවේ නුතන ඉතිහාසය කතාවන්නේ එතැන් සිටයි. බොහෝ විට ජපානයේ නුතන ඉතිහාසය ගැන කතාකිරීම ආරම්භ වන්නේද එම කාලයේ සිටයි. වසර 1500 පමණ වන විට ජපානයේ අභ්‍යන්තර පරිපාලන බලය වැඩවසම් වංශාධිපතියන් අතර බෙදීගොස් තිබුණි. 1568 දී "ඔද නොබුනග" සමුරායි වරයාගේ කණ්ඩායම් කියෝතෝවට පැමිණ සටන් කර "අශිකග යෝශිහිදෙ" ශෝගුම් වරයා රූකඩයක් ලෙස යොදාගනිමින් "මුරොමචි" ශෝගුමය (Shogunate) නැවත පිහිටුවන ලදී. නමුත්. පසුව, 1573 දී "අශිකග යෝශිහිදෙ" විසින් "ඔද නොබුනග" මරා දමා බලය තනිව අල්ලාගැනීම කල සැලසුම හසුවී "යෝශිහිදෙ" කියෝතොවෙන් පිටුවල් කිරීමෙන් පසු; "යෝශිහිදෙ" බෞද්ධ භික්ෂුවක් වීමන් එම ශෝගුමය අවසන් විය. එතැන් පටන් වසර 1582 දී තම සගයෙකු විසින් සටනක දී පාවාදීමෙන් පසු සෙප්පුකු ක්‍රමයට දිවිනසගන්නා තෙක්, "ඔද නොබුනග" ගේ පාලනයක් තිබුණි. ඉන් පසු, "ඔද නොබුනග" ගේ අනුගාමිකයෙකු වූ ද පාබල සෙබලෙකුගේ පුතෙකු වූ ද "තොයොතොමි හිදෙයොෂි" ජපානයේ පාලකයා ලෙස කටයුතු කළේය.



"තොයොතොමි හිදෙයොෂි" ජපානය එක්සේසත් කරමින් සාර්ථකව පාලනය කල අතර ඔහු කොරියානු අර්ධද්වීපය සහ චීනය ආක්‍රමණය කර අල්ලාගැනීමට දෙවරක් උත්සහ කළේය. ඇත්තටම "තොයොතොමි හිදෙයොෂි" ට වුවමනා වී තිබුනේ චීනය අල්ලා ගැනීමට කොරියානු අර්ධද්වීපය තුලින් හමුදාවන් යැවීමටයි. නමුත්, මෙහිදී චීන හමුදා හා ජපන් හමුදා කොරියාවේදී යුධවදීවි යයි බියවූ කොරියානු රජු ඊට අවසර නොදුන් නිසා කොරියාව යටත් කර එතුලින් චීනයට හමුදා යැවීමට "තොයොතොමි හිදෙයොෂි" තීරණය කළේය. "තොයොතොමි හිදෙයොෂි" සමුරායි පවුලක් නොවෙන සාමාන්‍ය පවුලකින් ආ අයෙකු වුවද, ඔහු සමුරායි වරුන් හැර සියලු සාමාන්‍ය මිනිසුන්ට ආයුධ දැරීම තහනම් කළේය. ඔහු ගොවියන්ගේ කඩු එකතුකර ඒවා උණු කර බුදු පිළිම සෑදවූ බව කියවේ. "හිදෙයොෂි" මෙකලදී ගොවිබිම් පිලිබඳ මිනුම් කටයුතු ද, සම්පූර්ණ ජන සංගණනයක් ද කරවුයේය. ඔහු සියලු ජනයන් ලියාපදිංචි කල අතර සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ ප්‍රාදේශීය පාලකයාට අයත් වූ භූමි  ප්‍රදේශයෙන් අවසර නොමැතිව පිටවී යාම තහනම් කළේය. භූමි මිනුම් මත පදනම් වෙමින් ගොවියන්ගෙන් බදු වශයෙන් ලබාගත් ධාන්‍ය ප්‍රමාණයන් තීරණය කෙරුණි. වහලුන් ලෙස හෝ බලහත් කාරයෙන් මිනිසුන් සේවයේ යෙදවීම ඔහු තහනම් කළේය. මෙකල පෘතුගීසීන් ජපන් වහලුන් වෙළඳාම් කල අතර, ජපානය තුල වහල් ක්‍රමය මෙන්ම ක්‍රිස්තියානි ආගම ඇදහීම ද "තොයොතොමි හිදෙයොෂි" විසින් තහනම් කරන ලදී. ක්‍රිස්තියානිකරණය සිදුකල විදේශිකයන්ද ජපන් ජාතිකයන්ද ඇතුළුව 26 දෙනෙකු නගසකි හි දී මරාදැමීමට "හිදෙයොෂි" නියෝග කළේය. තරුණ පිරිමි ළමුන්ද මේ 26 දෙනාට ඇතුලත් වූ බව කියවේ. "තොයොතොමි හිදෙයොෂි", තේ පාන උත්සව සංස්කෘතිය අද ඇති තත්වයට පත්වීමට බොහෝ සෙයින් දායක වූ අයෙකි. ඔහු මාලිගාවේ කුඩා කාමරයක තේ පාන උත්සව උත්සවය පැවැත්වීය. අමුත්තන්ට ඇතුළු වීමට ඉතා කුඩා කවුළුවක් තැබීම මගින් සමුරායි වරුන්ගේ කඩු සහිතව ඇතුල්වීම වැළකුවේය. ඇත්තෙන්ම, නියම තේ පාන උත්සවයකදී සියලුදෙනා එක හා සමාන විය යුතු බවද සිතු ඔහු, තේ පාන උත්සවයකදී, භාහිර ලෝකය උස පහත කම් බොහෝසෙයින් අමතක කර එහි සිටීමේ චාරිත්‍රයකට මුල පිරුවේය. ඔහු යන තැන ගෙනයාහැකි රනින් වැසූ තේ පාන උත්සව කාමරයක් සෑදවුයේය. ඕසකා මාලිගාව ගොඩනගන ලද්දේද "තොයොතොමි හිදෙයොෂි" විසිනි. "හිදෙයොෂි" කියෝතෝහි බොහෝ බෞද්ධ විහාර ගොඩනැගු අතර සමහර ඒවා තවම පවතී. "හිදෙයොෂි" ගේ බිරිඳ ඉතා බුද්ධිමත් කාන්තාවක් වූ අතර රට පාලනය කිරීම පිලිබන්ධව ඔහුට බොහෝ උපදෙස් ඇය විසින් ලිපිමගින් සපයන ලදී. "හිදෙයොෂි" බිරිඳගේ රාජ්‍ය තාන්ත්‍රික උපදෙස් පිළිගත් බව ඉතිහාසය පවසයි. "තොයොතොමි හිදෙයොෂි" ගේ අර්ධ සොහොයුරෙකු වූ රණ ශුර "තොයොතොමි හිදෙනග" ද "හිදෙයොෂි" වෙනුවෙන් බොහෝ දේ ඉටු කල බව ඉතිහාසයේ කියවේ. කෙසේ වුවද, සාමාන්‍ය පවුලකින් ආ "තොයොතොමි හිදෙයොෂි" ට වංශවත් උපතක් නොතිබුන අතර අඩු වශයෙන් වංශාධිපතියෙකු දරුවෙකු සේ ද හදාවඩා නොගත් බැවින් ශෝගුම් තත්වයට උසස් වීමට ලැබුනේ නැත. 



පසුව "හිදෙයොෂි" රෝගී වූ අතර; තමන් මියගියහොත් ඔහු ගේ  වසර 5ක පමණ කුඩා පුත්‍රයා වැඩිමහලු වනතෙක් රට පාලනය කිරීමට බලවත් වංශාධිපති වැඩිහිටියන් පස්දෙනෙකුගේ කමිටුවක් ඔහු පත් කළේය. "තොයොතොමි හිදෙයොෂි" ගේ අභාවය වනවිට ඔහුගේ හමුදාවන් කොරියානු අර්ධද්වීපය දෙවන වරට ආක්‍රමණය කරමින් සිටි අතර වැඩිහිටියන් පස්දෙනාගේ කමිටුව විසින් හමුදාවන් නැවත කැඳවන ලදී.  කොරියානු අර්ධද්වීපය ආක්‍රමණය කිරීම සැලසුම අසාර්ථක වීමත් "හිදෙයොෂි" පාර්ශවයේ බලය පිරිහීම වේගවත් කළේය. කෙසේ වුවද, "තොයොතොමි හිදෙයොෂි" ගේ මරණයෙන් වසරකට පසුව වැඩිහිටියන් පස්දෙනාගේ කමිටු ප්‍රධානියා වූ "මඑද තොෂිඒ" ද මිය ගිය අතර, ඉන් පසු "හිදෙයොෂි" පනවා තිබු නීති නොසලකා හරිමින් "තොකුගව ඉඑයසු" සේනා සංවිධානය කරමින් යුධ ප්‍රකාශ කළේය. "තොකුගව ඉඑයසු" යනු "ඔද නොබුනග" ගේ කණ්ඩායමේ සිටි ඒ වන විට ජීවත්ව සිටින එකම සාමජිකයා වූ බැවින් තමන් පාලකයා විය යුතු බව "තොකුගව ඉඑයසු" ගේ මතය විය.



"තොයොතොමි හිදෙයොෂි" ගේ කුඩා පුත්‍රයා වූ  "තොයොතොමි හිදෙයොරි" වෙනුවෙන් සේනා සංවිධානය කර සටන් කිරීමට "ඉෂිද මිත්සුනරි" කටයුතු කළේය. බටහිරින් පැමිණි පැරණි සුප්‍රසිද්ධ රණ ශුරයින් විශාල ප්‍රමාණයක් ඇතුළු 80,000 ක් පමණ "ඉෂිද  මිත්සුනරි" ගේ හමුදාවට අයත් විය. නැගෙනහිරින් පැමිණි 74,000 ක පමණ හමුදාවක් "තොකුගව ඉඑයසු" විසින් ගෙන එන ලදී. වසර 1600 ඔක්තෝබර් 21 වෙනිදා සෙකිගහර ප්‍රදේශයේ සිදුවූ සටනින් "තොකුගව ඉඑයසු"ජයග්‍රහණය කල අතර ඔවුන් බටහිර හමුදාවේ බොහෝ දෙනෙක් මරාදමන ලදී. වංශවත් උපතක් තිබු "තොකුගව ඉඑයසු"  1603 දී ශෝගුම් තත්වයට උසස් කරන ලදී. වර්තමානයේ තෝකියෝ ලෙස හැදින්වෙන එදෝ ප්‍රදේශය ප්‍රධාන පාලන මධ්‍යස්ථානය කරගනිමින් එහි මාලිගාවක සිට  "තොකුගව ඉඑයසු" ජපානය පාලනය කිරීම ආරම්භ කළේය. මෙය "තොකුගව" ශෝගුමයේ ආරම්භය විය.


මේ සියල්ල සිදුවන්නේ ජපන් අධිරාජ්‍යය පරපුරක් සිටියදීය. අද ටෝකියෝ නම් වන, ජපානයේ නැගෙනහිර එදෝ ප්‍රදේශයේ සිට "තොකුගව" ශෝගුමය රට පාලනය කරන අතර බටහිර ප්‍රදේශයේ සමුරායි වරුන් ප්‍රභල විය. හිරෝෂිමා ආසන්නයේ ඇති වර්තමානයේ යමගුචි ප්‍රදේශය වන චෝෂු ප්‍රදේශයේ සහ කියුෂු දුපතේ වර්තමාන කගොෂිමා ප්‍රදේශය වන සත්සුම ප්‍රදේශ වල ප්‍රභල සමුරායි වරුන් සිටියද චෝෂු සහ සත්සුම අතර බරපතල යුධ ගැටුම් තිබුන බැවින්, ඔවුනට නැගෙනහිර "තොකුගව" ශෝගුමයට එරෙහිව සටන් කිරීමට නොහැකි විය. චුෂෝ  සහ සත්සුම අතර පිහිටි; ශිකොකු දුපතේ වර්තමානයේ කෝචි ලෙස හදුන්වන ටොස ප්‍රදේශයෙන් බිහිවූ "සකමොටෝ ර්යෝමා" නම් දුප්පත් සමුරායිවරයා විසින් එකිනෙකා ඝාතනය කරගත් "සත්සුමා" සහ "චෝෂු" සමුරායි කණ්ඩායම් සමගි කර "තොකුගව ශෝගුමය" ට එරෙහිව මෙහෙයවන ලදී. එසේ "තොකුගව ශෝගුමය" පරදවා ජපන් අධිරාජ්‍යයට කිරුල පවරමින් නුතන ජපානයට බිහිකිරීමේ 1868 වසරේ "මෙඉජි විප්ලවය" තෙක් වසර 250 පමණ "තොකුගව ශෝගුමය" පැවතුනි. නුතන ජපානයේ පියා ලෙසින් හැදින්වෙන්නේ සකමොටෝ ර්යෝම වන අතර ඔහුගේ දායකත්වය මෙඉජි විප්ලවයට ඉතා වැදගත් විය.  



නුතන ලෝක ඉතිහාසය කියවීම කෙතරම් වැදගත් වුවද, මෙඉජි විප්ලවය දක්වා ජපානයේ නුතන ඉතිහාසය ගැන විස්තරාත්මක සිංහල ලියවිල්ලකට අන්තර්ජාලයේ සොයගැනීමට ඇත්තේ "නෙළුම් විල" බ්ලොග් අඩවියේ 2012 අප්‍රේල් පළමුවැනිදා Buratheno නම් බ්ලොග් කරු ලියා ඇති පිළිතුරු අදහසක් පමණකි. එමෙන්ම, ජපානයේ නුතන ඉතිහාසය බොහෝ විට අපේ රටේ කතා නොවෙන මාතෘකාවකි. එබැවින් ජපානයේ නුතන ඉතිහාසය සිංහලෙන් ලියා තැබීමේ වටිනාකම වෙනුවෙන් මෙම ලිපිය ලියා තබමි. ලෝකය ගැන දැනගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය ගැන මට උනන්දුවක් ඇතිකළ මහාචාර්යතුමාට මම බොහෝ ස්තුතිවන්ත වෙමි.


10 comments:

  1. ස්තූතියි! කෙන්කියුෂා පොරොන්දු වූ විදිහටම මේක ඉක්මණින් දැම්මට.

    මට ඇත්තටම ජපන් ඉතිහාසය ඉගෙන ගන්න ආසාවක් ඇති වුණේ කියොතො සංචාරය සහ අපේ මග පෙන්වන්නගෙ ඉතිහාස දැනුම. ඔයා මගේ ඉතිහාසය ඉගෙන ගැනීම පහසු කළා ඒවා සිංහලෙන්ම ලියලා. බොහොම ස්තුතියි!.

    කියොතො වල දැනටත් පන්සල් 16 000 ක් විතර තියෙන බව දැනගන්න ලැබුණා

    මම දවස් කීපයකට උඩදි ඔය සමුරායි මාළිගාවක් බැලුව නිසා මට පහසුවෙන් අතීත කතාව මවාගන්න පුළුවන් වුණා.

    මට හරි පුදුමයක් දැනුනා එදා ජපානයයි අද ජපානයයි දිහා බලනකොට. ඒ කාලෙ කාන්තාවො මනුෂ්‍යයින් විදිහට සැලකුවෙත් නැතිලුනෙ. අද කොහොමද?
    ඉතිහාසයේ අඩිරාජිණියන් හතර දෙනෙක් ඉදලා තියෙනවලු

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා, ඔයා මේ ජපන් වචන රෝමාජි වලිනුත් වරහනක් ඇතුළට දැම්මොත් කොහොමද?. මං එහෙම ඇහුවෙ අපේ සිංහලේ " එ" වගේ අකුරු වචන මැද කියවීම නුහුරු නිසා. ඔයා රෝමාජි නොලීවෙ හේතුවක් ඇතිවනං ඒක කමක් නෑ.

      මට සමුරායි ඉතිහාසය වගේම " ගෙයිකො සං", " මයිකො සං" ලගෙ ඉතිහාසයත් දැනගන්න ආසාවක් ඇති වුණා එයාලව දැක්කට පස්සෙ. ඔයාට සමුරායිලා ගැන මිස ඒවා ගැන හොයන්න ලියන්න අදහසක් නැතුව ඇතිනෙ

      Delete
    2. ඒවගේ සබැඳියන් සහිත වෙබ් පිටු අමුණලා තිබුන නිසයි ඉංග්‍රීසි අක්ෂර වලින් ලියුවේ නැත්තේ. එත් වරදක් තිබුන නිසා ඒවා පෙනෙන්නට නැතුව ඇති. මම එය නැවත සකස් කළා.

      "ගෙඉකෝ සං සහ මඉකෝ සං" ආරම්භ වෙන්නේ තේ පාන උත්සවවලින් මම හිතන්නේ.

      කාන්තාවන් ඇතුළු සැවොම සමානව සැලකුම් ලබන නුතන ජපානය නිර්මාණයට කල කාර්ය භාරය වෙනුවෙන් සකමොටෝ ර්යෝම තරුණ වියේදිම ජීවිතයෙන් වන්දිගෙවූ නමුත් ඔහුගේ බිරිඳ ඔ-ර්යෝ ට එයින් හිමිවුණේ දුක්බර ජීවිතයක් සහ කණගාටුදායක මරණයක්.

      අදටත් ජපානයේ සිටි සාර්ථකම දේශපාලන පරිවර්තකයා ලෙස සලකන්නේ සකමොටෝ ර්යෝම. එය අතිශය සාර්ථක අද්විතීය දේශපාලන ව්‍යාපෘතියක්. එක විශේෂිත නිර්නායකයකට අනුව මම ද අයත්වන්නේ සකමොටෝ ර්යෝම අයත්වුන පවුලෙන් පැවතෙන පවුලටයි.

      කාන්තවන් ඇතුළු සියල්ලන්ටම සමාන සැලකුම් ලබන ලෝකයක් වෙනුවෙන් සකමොටෝ ර්යෝම අදටත් තුරුහිස් අතරින් පැසිෆික් සාගරයට ඉහලින් ලෝකය දෙස බලාසිටින අකාරය තමයි ඔය පහලම තිබෙන රූපයේ තිබෙන්නේ. ඒ බලාපොරොත්තුව ඉටු කරන්නට සියලු ජ්‍යාත්‍යන්තරවාදීන්ට වගකීමක් ඇති බවයි මම විශ්වාස කරන්නේ.

      Delete
  2. අවුරුදු ගානකට කලින් මම ලියාපු බ්ලොග් කමෙන්ට් එකක් තවමත් කියවන්නන්ට දැනුම බෙදනවා දැක්කහම මට ඇතිවුනේ පුදුම සතුටක්..

    මමත් ජපන් ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් (හරියටම කියනව නම් ඉතිහාසය කියන්නෙ මගෙ ප්‍රියතම විෂයයක්), මේ ලිපියේ මාතෘකාව බ්ලොග් රෝලක අහම්බෙන් දැකලා මේ පැත්තෙ දුවගෙන ආවෙත් ඒකමයි.. ඔබ කියනවා වගේ ජපන් ඉතිහාසය සිංහලෙන් කියවන්ට ඇත්තේ ඉතාම අඩුවෙන්.. ඒ අඩුව සපුරන මෙවැනි ලියැවිලි සිංහල බ්ලොග් ලේඛනයට ආළෝකයක්..

    ජපන් ඉතිහාසය/ සමාජය/ සංස්කෘතිය බොහොම ලස්සනට විස්තර කරන තැනක් මෙන්න..

    Japan - Memoirs of a Secret Empire

    ReplyDelete
    Replies
    1. ජපන් උච්චාරනයන්ට වලට සිංහල අක්ෂර යෙදීම තරමක් අසීරුය. සමහර නම් වල සිංහල උච්චාරණය ජපන් උච්චාරණයට වෙනස් වුවද දැන් ඒවා භාවිතයෙන් සම්මත වී ඇත. උදාහරණ ලෙස ටෝකියෝ කියෝතෝ මැස්ඩා ටොයෝටා හොන්ඩා අජිනොමොටෝ වැනි වචන දැක්විය හැකිය. මේ හේතුවෙන් සමහ සමුරායි නම් වලට යෙදු සිංහල අකුරු යොදා ඒවායේ පෙර භාවිතය ගැන ගූගල් සෙවුමෙන් සොයද්දී ඔබේ කොමෙන්ට් එක හමුවිය. එය ඉතා හොද විස්තරයකි. ඇත්තටම ජපන් ඉතිහසයේ සමහර සිදුවීම් ඉංග්‍රීසියෙන් වත් ලියවී නැත.

      මම සෑම විටම ලියන්නට උත්සහ කරන්නේ කියවන්නාගේ පැත්තේ සිට හෙයින් ඔබේ අගය කිරීම ගැන බොහෝ සතුටු වෙමි.

      Delete
  3. විශ්ව විද්යාලීය නිබන්ධනයක් සදහා ලිපිය ඉතා ප්‍රයෝජනවත් විය.ස්තූතියි ඔබට.....

    ReplyDelete
    Replies
    1. අවසරයි! මගේ ලිවීම එවැනි උසස් අධ්‍යාපන කටයුත්තටකට වැදගත් වීම ගැන බොහෝ සේ සතුටු වෙමි. බ්ලොග් ලිවීමෙන් මම බලාපොරොත්තු වන්නේද දැනුම හුවමාරුවයි.

      බ්ලොග් ලිපි සංස්කාරකවරයෙකු පාලනය නොකරන බැවින් බ්ලොග් ලිපි ලියන්නාගේ මතයට වැඩි නැඹුරුවක් දක්වයි. බ්ලොග් ලිපි වලින් උසස් අධ්‍යාපන කටයුතු වලට දැනුම ලබාගැනීමේදී වෙනත් ලිපි වල අදහස් ද සලකමින් දැනුම ලබාගැනීමට ප්‍රවේශම් වීම බොහෝ වටී. මගේ වෘත්තීයමය ක්ෂේස්ත්‍රය නැනෝ තාක්ෂණය බැවින් මේ ලියවිලි ලියවෙන්නේ ඉන් එපිටයි.

      දැනුම හුවමාරුව සඳහා ලිපි ලිවීමේදී මම හරියයි සිතනා දේ නොලියා සත්‍යය යයි පිළිගත් දේ ලිවීමට මම සෑමවිටම ප්‍රවේශම් වෙමි. ලියා කරුණු විවිධ ලියවිලි වලින් තහවුරු කරගනිමි. එනමුත් යම් අඩුපාඩු තිබිය හැකි හෙයින් උසස් අධ්‍යාපන කටයුතු වලට යොදාගැනීමේදී, වෙනත් ලියවිලිද කියවා මම ලියා ඇති කරුණු විමසා බලන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
  4. ජපානයට ආදරය කරන කෙනෙක් විදියට මේ ඉතිහාස කතාව හරිම වැදගත්.

    තේ පානෝත්සව ගැන මගෙ හිත ඇදුණෙ මට මතක විදියට පර්ල් එස් බක්ගෙ සකායි පොත නිසා. සාම්ප්‍රදා්‍යික තේ පානෝත්සවයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා තනබතා උත්සවය දවසෙ. ඒක හරියට හීනයක් හැබෑ වුණා වගේ අත්දැකීමක්...

    කොචීවල සමුරායි මාලිගාවක් නරඹන්නට හැකිවුණා. ඒ දවස්වල බ්ලොග් ලිවිල්ලක් නොතිබුණ නිසා කෙටි සටහන් ගොන්නකට පමණක් මේ මතකයන් සීමා වෙලා.

    නොලියා ඉන්න එපා... කාරුණික ඉල්ලීමක්...

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.