Tuesday, January 31, 2017

ෆුකුෂිමා – A road to nowhere


නගර තිබුනද නගරවැසියන් නොමැත.නිවෙස් තිබුනද නිවැසියන් නොමැත. පාසල් තිබුනද ඒවා තුල සිසුන් නොමැත. සාප්පු තිබුනද ඒවා වසා ඇත. ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර තිබුන බඩු මිලදී ගැනීමට කිසිවෙකුත් නොමැත. පුළුල් මාවත් තිබුනද වාහන නොමැත. මේ තත්වයන් කෙදිනක කෙසේ වෙනස් වේදැයි හරියටම කීමට කිසිවෙකුත් නොදනී. ෆුකුෂිමා නගරය ලෝකය ඉදිරියට යන මාවතේ අතරමං වී තිබේ.




ඇතුළු වීමට මාර්ග බාධක පසුකර යායුතු අතර ආරක්‍ෂිත ස්ථර කිහිපයක විශේෂ ඇදුම් ඇඳිය යුතුය. වරෙක කාර්ය බහුලව පැවතුන, සශ්‍රීක රටක නගරක දැන් පවතින්නේ සොහොන් බිමකද නොමැති පාළු නිහැඬියාවකි. 

සියල්ල වෙනස් කලේ වසර 6කට පෙර අනපේක්ෂිත සිදුවීමකි.


දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 2.40 PM

ෆුකුෂිමා-දයි-1 බලාගාරය විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයකි. මෙය 1971 තැනීම ආරම්භ කල GE බලාගාරයකි. යුරේනියම්-235 නය්ෂ්ටික විකන්ඩනයෙන් ක්‍රියත්මක වේ. සමහර යුරේනියම්-235 පරමාණු ස්වයංසිද්ධව විඛණ්ඩනය වේ.  එහිදී එම පරමාණුවේ  න්‍යෂ්ටිය දෙකට කැඩෙමින් තවත් විශාල ශක්තියක්ද නියුට්‍රෝන 3ක් ද නිකුත් කරයි. ඒ නියුට්‍රෝන 2 තවත් යුරේනියම්-235 පරමාණු 2ක් සමග ගැටී ප්‍රතිකියාව ඉදිරියට ගෙනයයි. මෙය න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ලෙස හැදින්වේ. මේ සදහා fuel rods තුල ප්‍රශස්ත යුරේනියම්-235 ප්‍රමාණයක් තිබිය යුතුය.



න්‍යෂ්ටික බලාගාරයක්  න්‍යෂ්ටික බෝම්බයකින් වෙනස් වන්නේ ප්‍රතික්‍රියාවේ අඩු වේගය සහ පාලනය කිරීමට ඇති හැකියාව මගිනි. ප්‍රතික්‍රියාව ඉදිරියට ගෙනයන්නේ ප්‍රතික්‍රියාවේ එක් පියවරක් මගින් නිදහස් කරනා නියුට්‍රෝන තවත් යුරේනියම්-235 පරමාණුවල ගැටී මීලග පියවර දාමයක් සේ සිදුවීමෙනි. ප්‍රතිකිරියාවෙන් නිකුත් වෙන නියුට්‍රෝන බෝරෝන්-10 control rods මගින් අවශෝෂණය කරගැනීමෙන් දාම ප්‍රතිකියාව පාලනය කිරීම හෝ අවසන් කිරීම කල හැකිය. 

මේ මොහොත වන විට ෆුකුෂිමා බලාගාර දෙකෙහිම න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවන් සියල්ලම ඉතා නිවැරදි පාලනයකින් යුතුව ක්‍රියාත්මක වේ. කිසිදු වරදක් සිදුවීමට ඉඩක් නැත.

දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 2.46 PM




යුරේසියානු භූ තැටිය සහ පැසිෆික් භූ තැටිය ගැටෙන්නේ ජපානයේ ඉතිහාසයේ වාර්තාගත බලවත්ම භූ කම්පනය සිදුවෙමිනි. එය Mw පරිමාණයෙන් 9.0 ලෙස වාර්තා වේ. භූ කම්පනය කිසිවෙකුත් නොසිතන ලෙසින් අතිශය තීව්ර වෙන අතර විනාඩි 6 ක කාලයක් පවතී. බලවත් කම්පනය නිසා ජාතික විදුලි බලය පද්ධතිය කැඩී යාමෙන් බලාගාරයේ විදුලිය විසන්ධි වී තිබේ.

මේ GE බලාගාරය සැලසුම් කරතිබෙන්නේ භූ කම්පන අවස්ථාවක ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන පද්ධතියක් මගින් ආරක්ෂාකාරී වීමටයි. එය "Safety Control Rods Activation Mechanism" (SCRAM) ලෙස හැදින්වේ.



SCRAM පද්දතිය මගින් ෆුකුෂිමා-දයි-1 සහ ෆුකුෂිමා-දයි-2 බලාගාර වල න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාව තප්පර ගණනක් තුල නවතා සම්පූර්නයෙන්ම දමනු ඇත. මේ පද්ධති දිනපතා පරීක්ෂා කරනු ලබන අතර කිසිදු වරදක් සිදුවීමට ඉඩක් නැත.





දිනය: 2011.03.11 ස්ථානය :ශිබුයා, ටෝකියෝ නගරය, ජපානය. වෙලාව : 2.46 PM





වත්සලා සිටින්නේ යොකොහම විශ්වවිද්‍යාලය හවුලේ පවත්වාගෙන යන පර්යේෂණාගාරයක වැඩ කිහිපයක් කරමිනි. තට්ටු 15 ක ගොඩනැගිල්ල තුල ඇය සිටින්නේ 12 වෙනි තට්ටුවේ යි. භූ තැටි 3ක් මත පිහිටා ඇති ටෝකියෝ නගරයේ අප්‍රමාන සුළු කම්පනයන් සිදුවෙන බැවින් එය එතරම් ගණන් ගතු යුතු නැත.



නමුත් මේ කම්පනය එන්න එන්නම දැඩි වේ. ඇය ජපන් සිසුන් අනුගමය කරමින් මේසයක් යටට රිංගා ගනී. එමගින් හිස මතට යමක් වැටීමෙන් සිහි මුර්ච්ඡා වීමෙන් පසුව සිදුවන අනතුරකින් වැළකිය හැකි වෙනු ඇත. ගොඩනැගිල්ල දුන්නක් මෙන් දෙපසට පැද්දෙන අතර විදුලි පහන්ද සිවිලිමද කොටස් කඩා වැටෙමින් තිබේ.





භූ කම්පනය ඉතා දීර්ඝ වෙන අතර ගොඩනැගිල්ලට පැද්දීම දරාගත නොහැකි සීමාව වැඩි දුර නොවේ. බොහෝ විට පණපිටින් පිටවීමට නොහැකි වනු ඇති අතර දැන් සිදුවේ තිබෙන්නේ කිසීවෙකුට සමුදීමෙන් තොරව මරණයට පත්වීමටයි. ජීවිතය රැක ගැනීමට කල හැකි කිසින් ඇය නොදන්නා අතර ඇය සමග සිටින කිසිවෙකුත් කල හැකි කිසිවක් නොදනී. 



දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 3.02 PM



SCRAM පද්ධතීන් මගින් න්‍යෂ්ටික දාම ප්‍රතිකියාව සම්පූරණයෙන් අවහිර කර ඇති බවට ෆුකුෂිමා බලාගාර වලින් තහවුරු කරනු ලබයි. 

න්‍යෂ්ටික දාම ප්‍රතිකියාව අවසන් වුවද සියල්ල අවසන් නොවේ. න්‍යෂ්ටික ප්‍රතිකියාවෙන් සැදුණු අස්ථායි විකිරණශීලී අතුරුඵල ප්‍රතික්‍රියා ගාරය තුල තිබේ. ඒවා විකිරණ නිකුත් කරමින් තවදුරටත් ක්ෂය වී යනු ඇත. එය decay heat ලෙස හදුන්වයි.  "Decay heat" තාපය ඉවත් කිරීමට තව දුරටත් පැය 24 - 100 දක්වා කාලයක් සිසිලන පද්ධතිය ක්‍රියාත්මක විය යුතුය. අවශ්‍ය විදුලිය බලාගාර වල ඇති ඩීසල් විදුලි ජනක මගින් ලබාදෙනු ඇත. එවැනි විදුලි ජනක 8 ෆුකුෂිමා-දයි-1 බලාගාරයේ තුල තිබේ. ෆුකුෂිමා-දයි-2 බලාගාරය තුලද එවැනි සංඛාවක් තිබේ.


බලාගාරය ආරක්ෂිතව නිවා දැමීමේ සැලසුම් කර ඇති සම්මත ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වේ. ටෝකියෝ විදුලි සමාගම විසින් එය නිල වශයෙන් රජයට දන්වා සිටී. සියල්ල හොදින් සිදුවේ.

මේ පද්ධති දිනපතා පරීක්ෂා කරනු ලබන අතර කිසිදු වරදක් සිදුවීමට ඉඩක් නැත.




මේ වන විට සුනාමි අවධානමක් ප්‍රකාශකර ඇත. ජපන් කාලගුණ ඒජන්සියට අනුව සුනාමි රල අඩි 10 පමණ උස වනු ඇත. බලාගාර පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිය අඩි 30ක් උසිනි. බලාගාරයට සුනාමි රල වැදීම වැලක්වීමට අඩි 30ක ශක්තිමත් බැම්මක් ඉදි කර තිබේ. සියල්ල ආරක්ෂිතව පවතී. සේවකයන් වෙතට ලැබී ඇති හදිසි ආරක්ෂක උපදෙස් මැනුවල අනුව නිවැරදිව කටයුතු සිදුවෙම්න් පවතී. 


දිනය: 2011.03.11 ස්ථානය : සෙන්දයි නගරය, ජපානය. වෙලාව : 3.27 PM






බලාගාරයේ සිට සුනාමි රල නිරීක්ෂණය කරමින් සිටින සේවයකන් පවසන්නේ අති විශාල සුනාමි රල 4 ක් හෝ ඊට වැඩි ගණනක් එමින් පවතින බව පෙනෙන බවයි. සුළු මොහතකින් කඩා වදින්නේ කිසිවෙකුත් නොසිතූ විරූ අඩි 50ක අතිවිශාල බලවත් සුනාමි රළකි. කෙතරම් බලවත් ද යනු, මිනිස් ඉතිහාසයේ කිසිවෙකු නොසිතූ විරූ බොහෝදේ සිදුවිය හැකි බව ලෝකයටම පසක් කල අතිශය වියරු සුනාමි රළකි.

...............................................................


කලින් ලිපියේ අදහස් දැක්වූ සැවොම ෆුකුෂිමා සිදුවීම ගැන දැනගැනීමට උනන්දු අය මෙන්ම, තාක්ෂණික දේ ගැන උනන්දු අයයි. එබැවින් නැවත මුල සිට සිදුවීම ගැන ඉතා සුළුවශයෙන් තාක්ෂණික කරුණු ලියා තිබේ. ෆුකුෂිමා සිදුවීම එදා සිට අද දක්වා අතිශය සංකීරණ කතාවක් තිබෙන නමුත් මම ලිවීමට උනන්දු වන්නේ මම දන්නා ඉතා සරල සිදුවීම් කිහිපයක් සහ මාධ්‍ය වාර්තා කල ප්‍රධාන සිදුවීම් පමණි. මෙම සිදුවීම් සිංහලෙන් ලියා තැබීම මිස කිසිවෙකුට හෝ කිසියම් ආයතනයකට හෝ කිසියම් රටකට අපහසු තාවයක්  ඇතිකිරීමේ අරමුණක් මෙහි නොවේ. ලියා ඇති දේ වලින් කිසිවෙකුට හෝ කිසියම් ආයතනයකට හෝ කිසියම් රටකට අපහසු තාවයක් ඇතිවේ නම් ඒ ගැන හෘදයංගවම කණගාටුව පලකරන අතර එවැනි දේ පෙන්වා දුනහොත් අදාළ කොටස් ඉවත් කිරීමට සම්පූර්ණයෙන්ම එකග වෙමි.    






13 comments:

  1. නියමායි .......මරේ මරු ....ඉතුරු ටිකත් දාන්ඩ ....කොටල පොවනවා වාගේ තේරෙනවා ....අගක් මුලක් හිතාගන්ඩ බැරුව හිටියේ

    ReplyDelete
    Replies
    1. උඩම පින්තුරයේ ඉන්නේ පැස්බරෙක්ද ...එමු කෙනෙක්ද

      Delete
    2. පැස්බරෙක් වගේ මට පේන්නේ.ජපානයේ මේ වගේ සත්තු ඉන්නවාද ?දැන් මේක අනාරක්ෂිත පරිසරයක් නම් සත්තුන්ට මේ විකිරණ වලින් බලපෑමක් නැතිද?නැතිනම් යම් පරීක්ෂණ සඳහා මේවැනි සතුන් මේ පරිසරයට නිදහස් කර තිබෙනවාද ?

      Delete
    3. ඉතුරු ටිකත් අපි හෙමීට බලමු. එතකොට ඔය න්‍යෂ්ටික බලාගාර කියන යකා මාධ්‍ය වලින් කියන තරම් කළුද කියන එක හිතල බලන්නකෝ.

      ඔය ගොඩක් පරණ පින්තූරයක්. ජපානේ පැස්බරා ෆාර්ම් තියෙනවා බිත්තර සහ මස් ගන්න හදන. මෙයා ෆාර්ම් එකකින් පැනපු පැස්බරෙක්. මිනිස්සු හදිසියේ පැනල ගියාට සත්තු නිදහස් කරලා ගියේ නෑනේ. ඉතින් ටිකක් සත්තු ගාල් වල ගැටගහපු තැන්වල මැරිලා තිබුනා කියනවා. ඔය අයඩීන්-131 සීසියම්-137 වගේ විකිරණ වලට පිළිකා හැදෙන්නේ අවුරුදු 20 ක් 30 ක් ගිහින්. ඉතින් එච්චරකල් ඉන්න හිතන්න බැරි වයසක සත්වලෝලි මිනිස්සු සති දෙකකට වගේ පස්සේ ගිහින් ඔය සත්තු ටිකක් නිදහස් කරලා කන්න බොන්න එහෙම දීල තියෙනවා. කොහොමත් සත්තු විකිරණ වලට අහුවෙලා නිසා උන්ගෙන් ප්‍රයෝජනයක් නෑ.

      Delete
  2. සරලයි සුගමයි.... නියමයි.
    මේ විදිහට ලියන්න කොච්චර කට්ටක් කන්න ඇද්ද? අපි බොහොම උනන්දුවෙන් ඉන්නෙ මීලඟ කොටස් එනතුරු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. චුට්ටක් මහන්සි වුනත් කියවපු අයට සිදුවීම් තේරුම්ගිහින් තියෙන නිසා ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

      කොහොමත් ඔය ආර්ටිකල්/ප්‍රපොසල් ලියන වැඩ පුදුම කට්ටක් තමයි. එත් ඉතින් දැනගෙන කැමැත්තෙන් තෝරගතිපු කට්ටක් නිසා ඒක සතුටින් බාරගන්නවා.

      Delete
  3. ඉතුරු ටිකත් ඉක්මණට ලියන්න
    ෆුකුෂිමා අදත් මළ නගරයක්ද එතකොට

    ReplyDelete
    Replies
    1. කොහොමත් නිද්‍රාශීලී නගරයක් මිසක් සම්පූර්ණයෙන්ම මැරුණේ නෑ. Evacuation order එක අනුව කැමැත්තෙන් නොගිය වයසක අයට රජය චෝදනා පත්‍ර ගොනු කලේ නෑ. එහෙම 40 දෙනෙක් විතර හිටිය කියල ආරංචි.

      වයසක මිනිස්සු රේඩියේෂන් වලට අපිවගේ බය නැහැනේ. මේ සිදුවීම්දී වැඩිහිටියෝ විදියට වගකීම අරගෙන ඒ අයගේ වීර ඉදිරපත් වීම් ගැන ඉදිරියේදී කතා කරමු.

      දැන් ටික ටික දුරන් මිනිස්සු පදිංචි වෙනවා කියල ආරංචි. දැන් ෆුකුෂිමා වලට 1 day tour එහෙම දෙනවා මන් හිතන්නේ.

      Delete
  4. මාත් අහල තියෙන්නෙ ඔය රළ නිසා වේචිචි දේ ගැනයි.. ඒක නිසා ඉතිරි කොටස් මග නොහැර කියවන්න බලාපොරොත්තු වෙනවා.. කලින්එකේ කිව්ව වගේ මේක ඉතා වටිනා ලිපි මාලාවක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් හොදින් ලියන්න බලන්නම්.

      Delete
  5. හොඳට තේරුම් යන විදියට ලියල තියෙනවා. ඔබ විෂය ගැන දන්න නිසා පත්තර වල තියෙන සාමාන්‍ය ලිපියක් කියවනවට වඩා තාක්ෂණික දේවල් වුනත් තේරුම් යනවා. ඉතිරි කොටස් ටිකත් ලියන්න

    ReplyDelete
    Replies
    1. කලින් ලිව්වේ එහෙම දිගට ලියන අදහසකින් නෙවෙයි කැමති අයට සොයා බලන්න. එත් අදහස් දක්වපු කීපදෙනාම තාක්ෂණික දේ ගැන බොහොම උනන්දු අය නිසා තමයි ලිව්වේ. මම කොහොමටත් න්‍යෂ්ටික විද්‍යාව කෙලින්ම හදාරලා නෑ. වෙන වෙන වැඩ වලට ඉගෙන ගතිපුවා තමයි.

      Delete
  6. මේ කතාවෙ ඉතිරිය ලියවෙන්නෙ නැද්ද එතකොට?

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.