Monday, February 6, 2017

SAITM – සියල්ල එකට පැටලවීම වෙනුවට ටිකක් ලිහාගැනීමට



මින් පෙරද වෙනත් බ්ලොග්වල අදහස් දැක්වීමේදී මේ ගැන ලිවීමට යෝජනාවක් ලැබුන නමුත් එයින් වැලකී සිටියේ මිනිසුන් අතරට හැකි පමණින් විද්‍යාව ගෙනයාමේ මගේ උත්සාහයට ඉන් ඇතිවිය හැකි බාධාවන් සැලකීමෙනි. එහෙත් මනුෂ්‍යයෙකුගේ ජීවන හැඩය තීරණය කරන, කෙනෙකුට උපයා ගත හැකි වටිනාම වස්තුව වන දැනුම උපයා ගැනීම වැළකීමේ අශීලාචාර රැල්ලක් අපේ  රටේ ඇතිවන විට ඒ ගැන හැකිපමනින්, තේරුම් ගත හැකි ප්‍රමාණයට අනුව හරියයි සිතනා කරුණු ලියා තැබීමට මටද වගකීමක් තිබේ.

රජයේ විශ්විද්‍යාල, අර්ධ රාජ්‍ය විශ්විද්‍යාල, හා පුද්ගලික අංශයේ විශ්විද්‍යාල වල මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන්ගේ අධ්‍යාපනයේ විභාග ඇගයීම් වලදී ද, මහජන මුදලින් ඉගෙන ගන්නා සිසුන්ගේ ධ්‍යාපනයේ විභාග ඇගයීම් වලදී පවත්වා ගන්න ගුණාත්මක භාවයම තිබිය යුතු බවට එකඟ නොවෙන අය එතරම් සිටීදැයි සැක සහිතය. බොහෝ දෙනෙකු ඊට එකඟය. නමුත්, විශ්විද්යාලයකට ඇතුලත් වීමට අවශ්‍ය මුලික සුදුසුකම ලැබූ අයට, තමුන් කැමති ක්ෂේස්ත්‍රයකින් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කිරීමට ඇති අයිතිය අහෝසි කිරීමට මම තරයේ විරුද්ධ වෙමි. උත්සාහය අවසානයේ, තිබියයුතු අවම මට්ටමට ඔවුනට පැමිණීමට නොහැකි නම් ඕනෑම කෙනෙකු අසමත් කර එතනින් ඉවත් කිරීම සාධාරණ වුවද, තම වියදමින් එය උත්සාහ කර බැලීමට ඉඩ නොතබා එලවා දැමීම අශීලාචාර ක්‍රියාවකි. නමුත් දැන් සිදුවන්නේ උත්සාහ කිරීමට ඉඩ නොදී එලවා ගැනීමේ එම අශීලාචාර ක්‍රියාවයි.

මුදල් ගෙවා අධ්‍යාපනය ගැනීමට කරන උත්සාහයට විරුද්ධ වන සමහර සමාජවාදීන් මෙහිදී  යෝජනා කරන්නේ සියල්ලන්ට අධ්‍යාපනය නොමිලේ දිය යුතු බවයි. තවත් තැනකදී, ඔවුන් කියන්නේ මුදල් අය කර උගන්වන විශ්විද්‍යාල මගින් ඉහල වැටුප් වලට හොඳම මහාචාර්ය වරුන් ඇදගනු ඇති බවයි. මෙයම විසංගතතාවයකි (discrepancy). මහාචාර්ය වරුන් රඳවා ගැනීමට ඉහල වැටුප් ගෙවීමටවත් මුදල් නොමැති බව පිළිගන්නා අතරම ඒ වෙනුවට සියල්ලන්ටම නොමිලේ රජයෙන් අධ්‍යාපනය දිය යුතු බව කියනවා නම් ඔවුන් සිටින්නේ සිහියෙන් දැයි සැක සහිතය. 

මේ කතාව සයිටම් සමග බැදී තිබෙන බැවින් ඒ සමගින් අරඹමු.

සයිටම් ගැන කතාවේ ඉදිරිපත් කෙරෙන ප්‍රධාන සංකීර්ණ ගැටළු 3 ක් මට පෙනේ මේ තුනම එකට පටලවා චක්‍රයක් සේ විටින් විට කියවීම බහුලව සිදුවේ. ඔවුන් විසින්ම ඇති කරමු ලැබූ සංකීරණ පැටලවීම පෙන්වා එය විසඳීමෙන් තොරව අත්හැරිය යුතු බව ඔවුන් ගේ තර්කය විය හැකිය. නමුත් ගැටළු විසඳීමේ විද්‍යාත්මක ක්‍රමය නම් පෙනෙන ප්‍රධාන ගැටළු එකින් එක විසඳමින් ඉදිරියට ගොස් සාර්ථක අවසානයකට යාමයි. මම තරුණ විද්‍යාඥයෙක් මි. මම උත්සාහ කරන්නේ මට පෙනෙන විද්‍යාත්මක විසඳුමක් ලියා තැබීමටයි. මම කරුණු එකින් එක සලකමි.


1. ඇතුලත් කර ගැනීමේදී ඇති අසමානතාවය.

මුදල් ඇති අය දොස්තර වෙද්දී මුදල් නැති අය කොන්දොස්තර වෙනවා යයි මෙහිදී කතාවට එයි.

මුදල්, බලය, පුද්ගලික සම්බන්ධතා මත පදනම් වූ අසමානත්වය නැති තැනක් මිහිපිට නොපවතී. අඩුම තරමේ පුජ්‍ය පක්ෂයට ඇතුළුවීම වත් ඉන් මිදී නැත. ලෝකයේ නොපවතින සර්ව සාධාරණ සමාජයක් ගැන උපකල්පනය කල හැක්කේ පරිපූරණ සමාජවාදයෙදී පමණි. එහෙත්, උපකල්පිත පරිපූරණ සමාජවාදයෙදී දොස්තරද කොන්දොස්තරද සම තත්වයේ ජීවන ප්‍රතිලාභ ලබන බැවින්, දොස්තර-කොන්දොස්තර වීම යන ගැටලුව සම්පූර්නයෙන්ම පාහේ අහෝසී වී යනු ඇතැයි මම උපකල්පනය කරමි.

මේ මොහොතේ මේ පෘතුවියේ කොතැනක හෝ නොමැති තත්වයක්, අනන්ත අප්‍රමාන ගැටළු ඇති ණය බරින් හෙම්බත් වුන  දියුණු වෙමින් පවතින රටක ඇතිකිරීමට බලාපොරත්තු වෙමින් සිටීමේ ඵලදායක බව කියවන ඔබට සිතිය හැකිය. 

ඒ අතරම විදේශගත වී මුදල්ගෙවා ඉගෙන ගෙන උපාධි ගැනීම කිසිවෙකුට නතර කල නොහැකිය. GMOA පවා මෙහිදී පවසන්නේ වෛද්‍ය උපාධිය හැරෙන්නට මුදල් ගෙවා ඉගෙන ගන්නා අනෙකුත් උපාධි පාඨමාල වලට ඔවුන් විරුද්ධ නැති බවයි.

2. විද්‍ය්ර්තයින්ගේ ගුණාත්මක භාවය.

විද්‍ය්ර්තයින්ගේ ගුණාත්මක භාවය ඉතා හොඳින්, නොමිලේ අධ්‍යාපනය ලබන අයටත් වඩා නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක් කරමින් නියාමනය කල යුතුය. ඒ වියදම් මුදල් ගෙවා ඉගෙන ගන්න සිසුන් විසින්ම දැරිය යුතුය. නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක්කළ යුත්තේ ඔවුන්ගේ තත්වය ඔවුනට වඩා දක්ෂ නොමිලේ අධ්‍යාපනය ලබන අයගේ තත්වය දක්වා ඉහල දැමීමටයි. අවසානයේ මුදල් ගෙවා ඉගෙන ගන්න අයද, නොමිලේ ඉගෙන ගත් අයගේ තත්වයට පැමිණ රටේ මෙන්ම ලෝකයේ ඉදිරි ගමනට එකිනෙකා පරයන සේ දායක වීමේ හැකියා ලබන තෙක් වැඩි අවධානයකින් යුතුව නිරන්තර ඇගයීමට මෙන්ම පුහුණුවට ලක් කල යුතුය. ආසියාවේ දියුණුතම රටක් වන ජපානයේ පුද්ගලික විශ්වවිද්‍යාල වල අය කිරීම රජයේ විශ්විද්යාලව අයකිරීම මෙන් දෙගුණයකි. එසේ වන්නේ රටේ දියුණුවට අවශ්‍ය වන ලෙස ඔවුන් සකස් කිරීමට අවශ්‍ය වන ඉහත කී ඇගයීම් හා පුහුණු කිරීම් සඳහා වැය වන සම්පත් ප්‍රමාණය වඩාත් අධික වීම නිසයි.

ස්වභාවික සම්පත් වෙනුවට ස්වභාවික අනතුරු උරුම ජපානය ආසියාවේ දියුණුතම බලවත් රටක් බවට පත්වන්නේ එසේ දියුණු කරන ලද මානව සම්පත මත පමණක් යැපීමෙනි. පිරිසිදු කිරීමේ සේවා වල පවා උපාධිදාරීන් සිටින ජපානය ලෝකයේ පිරිසිදුම ක්‍රමවත්ම රටකි. මානව සම්පත දියුණු කිරීමේ ප්‍රතිලාභ ඉතා ඉහල බව පෙනේ. අපේ තරඟකාරී අවස්ථා සුරක්ෂිත කරගත යුත්තේ කැපවීමෙන් තමන්ගේ ගුණාත්මක භාවය ඉහල දමාගැනීමෙන් මිස; අනෙකාගේ අවස්ථාව වැළකීමෙන් නොවෙන බව මම විශ්වාස කරමි.

එමෙන්ම, ගුණාත්මක භාවය ඉහල දැමීම වැලක්වීමට කළහැකි සියලු අශීලාචාර බාධා කිරීම් ද මානසික බිඳ වැට්ටවීම්ද කරමින් ගුණාත්මක භාවය ගැන කතා කිරීම විහිළුවකි. අපේ රටේ අධ්‍යාපනය ලැබීමට අපව විශ්වාස කර පැමිණි දේශීය හෝ විදේශීය සිසුන් ලෙස ඔවුනට සලකමින්, රටේ මිනිසුන්ට ද හානිකර නොවෙන ලෙස පුරවැසියන්ගේ ආරක්ෂාව ද සලකා බලමින් සායනික පුහුණු වැනි පහසුකම් සැලසීම යුතුකමකි. සරල උදාහරණයක් ලෙස මේ සිසුන් රෝගීන් සමග සම්බන්ධ වීම වඩා තදින් අධීක්ෂණය කිරීමට දැනට වඩා වැඩි පුහුණු වෛද්‍යවරුන් සංක්‍යාවක් යෙදවීමට වේ නම්, ඒ සඳහා අවශ්‍ය පමණට සිසුන්ගෙන් මුදල් අයකරගනිමින් එසේ කල හැකිය.

සියලුම ක්ෂේස්ත්‍ර වල උපාධි සලකන විට, මට පෙනෙන්නේ මුදල් ගෙවා ඉගෙන ගන්නට තිබෙන විශ්වවිද්යාල සහ නොමිලේ ඉගෙගන ගතහැකි විශ්විද්‍යාල එකිනෙකට උදවු කරගනිමින් දැනට තිබෙන සීමාවන් පරදා ඉදිරියට යා හැකි බවයි. රාජ්‍ය-පුද්ගලික-සහයෝගීතාවයක් මෙහිදී වඩා සුදුසු වේ. උදාහරණයක් ලෙස, මුදල් ගෙවා ඉගෙන ගන්නට එන සමහර සිසුන් තුල ඇති ඉහල ඉංග්‍රීසි දැනුම, ඉහල පරිඝණක තාක්ෂණ දැනුම, සමාගම් සමග ඇති පුද්ගලික සම්බන්ධතා මගින් පර්යේෂණ අරමුදල් ලබාගැනීමට ඇති හැකියාව වැනි දේ; ඉහලින් උසස්පෙළ සමත් වූ නොමිලේ ඉගෙන ගන්නා සිසුවාගේ ඉහල පරිකල්පන ශක්තිය, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව, ඉහල නිර්මාණශීලීත්වය සමග එකට මුසු කර; අද රටේ සමාගම් ඉල්ලා සිටින නව පර්යේෂණ කරමින්, පේටන්ට් කරමින් අපට අවශ්‍ය දැනුම අපටම නිර්මාණය කරගත හැකිය. 

නමුත් අවාසනාව නම් දැනට මේ දෙපිරිස ගැටෙමින්, දෙපිරිසම රටේ අවශ්‍යතාවය නොවෙන නිෂ්ඵල ලෙස ශ්‍රමය වගුරුවයි.


3. උසස්පෙළ ඉහලින් සමත් නොවී වෛද්‍ය වෘත්තියට පිවිසෙන සයිටම් උපාධිදාරීන් අතින් රෝගී ප්‍රතිකාර වලදී බොහෝ වැරදි සිදු විය හැකි බවට වන සැකය.

ලෝකේ බොහෝ රටවල් වල වෛද්‍ය වෘත්තිකයන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය කලින් කලට අලුත් කලයුතුයි. එසේම බරපතල අත්වැරදී සිදුවීම සහ අවකල්ක්‍රියාවන් වැනි දේ වෛද්‍ය වෘත්තිකයෙකු අතින් නැවත නැවත සිදු වේ නම් එවැනි අයගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ඉක්මනින් විදිමත්ව අත්හිටුවීමෙන් පසු වැරදි වල ප්‍රමාණය අනුව බලපත්‍රය සදහටම අවලංගු විය හැකයි.

SLMC මගින් දැනට එවැනි ක්‍රමවෙධයක් ක්‍රියාත්මක නොවෙන බව තමයි ආරංචි වෙන්නේ. 

සයිටම් උපාධිදාරීන් හෝ රජයේ උපාධිදාරීන් හෝ විදේශීය උපාධිදාරීන් කිසිවෙකු රෝගී ප්‍රතිකාර සඳහා නිපුණත්වය නොපෙන්වා නැවත නැවත වැරදි/අතපසුකිරීම් සිදුකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් සැදීමයි අවශ්‍ය.

එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙන නිසා රෝගීනට ගැටළුවක් වෙන්නේ නෑ.

මෙය රාජ්‍ය, පුද්ගලික, විදේශ උපාධිදාරී සියලු වෛද්‍ය වරුන්ට පොදුව, ජ්‍යාත්‍යන්තර මට්ටමේ පවා සද්භාවයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රමවෙධයක් නිසා අධිකරණය වෙත ගිහින් හෝ මුලික අයිතිවාසිකම් කඩවෙන බව කියා ඉන් වසන් වෙන්නට සයිටම් වෛද්‍ය උපධිදාරීනට හැකියාවක් ලැබෙන්නේ නෑ.

දැන් සයිටම් උපාධිදාරීන් ලියාපදිංචි කරගන්නා ලෙස අධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා, SLMC රෝගීන් ගේ ආරක්ෂාව ගැන විද්‍යාත්මකව සිතනවා නම් ඔවුන් මුලින්ම කල යුත්තේ ඉක්මනින් මෙවැනි ක්‍රමවෙධයක් සකසා නැවත නැවත අත්වැරදී සිදුකරමින් රෝගී ජීවිත අනතුරේ හෙලන එවැනි වෛද්‍ය උපාධිදාරීන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය අත්හිටුවන ක්‍රමවෙධය සකසා රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

එහෙම නැතුව  මගේ මිනිය උඩින් යන්නයි කියමින් උසාවි නියෝගයට විරුද්ධව වහසි බස් දෙඩීම හෝ වර්ජන තර්ජන කරමින් රෝගීන්ගේ ආරක්ෂාව නැත්තටම නැති කිරීම නොවෙයි. 

දේශපාලකයින් පමණක් නොව උගතුන් පවා සමහර තීරණ වලදී අවිද්‍යාව මත පදනම් වෙන සමාජයක; විද්‍යාත්මක තාර්කික ක්‍රමවෙධයන්ට ඉඩක් ඇති නොවී යට යාම සාමාන්යෙන් වෙන දෙයක්. 


මේ ගැන මම නොදන්නා, මම නොදකින බොහෝ දේ තිබෙන බව පිළිගන්න අතර එවැනි අදහස් වලට මේ ලියවිල්ල ඉතා කැමැත්තෙන් විවෘත්ත කර තිබෙනවා.

19 comments:

  1. මම කියන්නෙත් මේ ක්‍රම වේදය යම් පිළිවෙලකට ගැනීමේ වගකීම වෛද්‍ය සභාව සතු බවයි... සමහර විට ඒ 3 ක් ගන්න එකෙක් වත් ලංකාවේ නැති උනොත් බී ගන්න එකෙක් වත් නැති උනො.් සී ගන්න එකෙක් වත් නැති උනොත් හෙම මොකද කරන්නේ.. එස් තුනට මෙඩිකල් යන්න බැරිද?? එහෙම නැත්නං සිලබස් ගුණාත්මකබාවය අඩු කරනවද? ලංකාවේ ඉන්න අමුම ගොත්‍රික වාදියෝ විශාල ප්‍රමාණයක් වෛද්‍යවරුන්ටත් අයිතියි. පන්සල් ගානේ, කෝවිල් ගානේ පිරිත් නූල් බැදගෙන බෝදිපුජා තව නොයෙකුත් පුජා තියමින් ගෙදරත් පන්සල් පල්ලි හදමින් ඉන්න වෛද්‍යවරු මං දැකල තියෙනව ඕන තරං.. ඒක නිසා මේ හුඹස් බියවල් නැති කරන්න ඕන. ඉදිරිගාමි පියවර ගන්න ඕන. ඔය බොහො ්වෛද්‍ය වරු නව ප්‍රවණතා සමග යාවත්කාලින වෙන්නෙත් නැහැ. සමහර අයින් කරපු බේතුත් තාම දෙන දොස්තරල ඉන්නවා. කොහොම උනත් ඒ අයත් මේ අයත් යම් ක්‍රම වේදයක් යටතේ සාදාරණ පරික්ෂාවකට ලක් කරන එකයි කළ යුත්තේ.. අපි නොදන්න රජයේ ඉගැන්වීම්.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක හරියටම හරි. SLMC තමයි වෛද්‍යවරු කලින් කලට නැවත පරීක්ෂාවට procedures හැදිය යුත්තේ. දොස්තරලා නොවෙන අපිට කරන්න පුළුවන්පු අනෙක් රටවල් වගේ ඒවා හදන්න කියල ඉල්ලීම, හෝ ඊටත් එහා ගිහින් බැගෑපත්ව ඉල්ලීම පමණයි. ඒ වුනාට GMOA එකට ඕනේ තමුන්ගෙන සිදු වෙන හෝ සිදුකරන වැරදි වලට වලංගු නොවෙන, SAITM අයට විතරක් බලපාන procedure හදන්න. ඔය නිසා තමයි නීතිය ඉදිරියට ගිහින් සමානාත්මතාවය පිලිබඳ මුලික අයිතිවාසිකම් කඩවුණා කියන තැනදී ඒ අය ලේසියෙන්ම පරදින්නේ. ඒ අයට නීතියෙන් දිනන්න බැරි නිසා තමයි වහසි බස් දොඩලා විකාර රූපී කතා පතුරවලා ඔක්කොම පටලවලා අන්තිමේ වර්ජන කරලා රෝගීන්ගේ ආරක්ෂාව නැත්තටම නැති කරලා අවනීතියෙන් හරි දිනන්න බලන්නේ.

      තව දෙයක් තියෙනවා. මම නම් හිතන්නේ නෑ, මේ ගැටළු විසඳිලා සයිටම් දොස්තරලාට අවස්ථාව ලැබුනත් දැන් ඉන්න දොස්තරලාගෙන් වෙනස් වේවිය කියන ඒක. සයිටම් අයත් දොස්තරලා වුනාට පස්සේ GMOA එකත් එක්ක හවුල් වෙලා දැන් කරන දේම කරාවි.

      මහජනතාව විදියට අපිට අවශ්‍ය වෙන්නේ තිබෙන්නේ රෝගීන්ගේ ආරක්ෂාවට සයිටම් සහ අනෙකුත් වෛද්‍යවරුන්ගේ අත්වැරදී අවකල් ක්‍රියා ගැන කඩිනම් ක්‍රියා මාර්ග අරගෙන නැවත එහෙම වෙනවා නම් බලපත්‍ර අත්හිටුවන්න අවශ්‍ය නීති හදන්නට එකෙන් ඉල්ලීම. එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැතිනම් සයිටම් හෝ වෙනත් ඕනෙම වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙන නිසා රෝගීනට ගැටළුවක් වෙන්නේ නෑ. ඒවගේම රෝගී ප්‍රතිකාර හරියට කරන්න දන්නා වෛද්‍යවරුන්ට ගැටළුවක් වෙන්නෙත් නෑ. ගොඩාක් පටලවලා තිබ්බට ඕක තමයි සරල කතාව.

      අපේ මිනිස්සු කරන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය දේට පෙනී හිටිනෙන් නැතුව දෙපැත්ත බෙදිලා බැනගන්න එක. දේශපාලනයේදී කරන දේම තමයි.

      Delete
    2. මගේ අදහස. මිත්‍යාව එන්නේ ක්රමවේධ නීති හරියට නැති වුනාම. අපි පාරේ අයිනෙන් යනකොට වාහන ඇවිත් හැප්පෙනවා නම්, කොයිතරම් නීතියට වාහන එලෙව්වත් අහක යන වාහන ගෙනත් හප්පලා පොලිසි ගැනේ රස්තිය වෙන්න වෙනවා නම් මිනිස්සු දෙහි මිරිස් එල්ලලා දෙවියනට කියන එකට යොමුවෙනවා.

      බෙහෙත් ගන්න ගියාම ලෙඩේ කියන්න කලින් බේත් ලියල එලවගන්නකොට වෛද්‍යවරයා රෝග ලක්ෂවලින් කොයිතරම් දක්ෂ ලෙස නිවැරදිව ක්ෂණික රෝග විනිශ්චයක් කලත් ලෙඩාට විශ්වාස නෑ. වෙන කියන්න කෙනෙකුත් නෑ. දෙවියන්ට තමයි කියන්න තිබෙන්නේ.

      වැඩක් කරගන්න ගියාම නිලධාරියෝ කරලා දෙන්නේ නැති නම්, මිරිස් අඹරලා හෙන ඉල්ලනවා ඇරෙන්න මිනිස්සුට කරන්න දෙයක් නෑ.

      එතනට මිත්‍යාව එන්නේ මිනිස්සුගේ අසරණකමත් අනාරක්ෂවත් එක්ක.

      අනික් පැත්තෙන් ඒවා කරන මිනිස්සුන්ගේ හිත දන්නවා කලේ වැරද්දක් කියල. එතකොට එයාල බයයි අර මිත්‍යාවෙන් කරන පලිගැසීම් වලට. එතනට මිත්‍යාව එනවා වරදකරීන් බවෙන් ආරක්ෂා වෙන්නට.

      නීතිය සහ ක්මරවේධ හරියට ඇතිවෙලා මිනිස්සුන්ට ආරක්ෂාව දැනෙනකොට මිනිස්සු අතරට මිත්‍යාව එන්න තිබෙන ඉඩ ඇහිරෙනවා.

      නීතිය සහ ක්රමවේධ මගින් මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොකර මිත්‍යාවට උඩ පැන පැන තැලුව කියල මිත්‍යාව නැති වෙන්නේ නෑ.

      Delete
    3. //ලංකාවේ ඉන්න අමුම ගොත්‍රික වාදියෝ විශාල ප්‍රමාණයක් වෛද්‍යවරුන්ටත් අයිතියි. පන්සල් ගානේ, කෝවිල් ගානේ පිරිත් නූල් බැදගෙන බෝදිපුජා තව නොයෙකුත් පුජා තියමින් ගෙදරත් පන්සල් පල්ලි හදමින් ඉන්න වෛද්‍යවරු මං දැකල තියෙනව ඕන තරං..//
      දේශකතුමෝ...සම්පූර්ණ ඇත්ත. මේ ළඟකදි එහෙම අත්දැකීමක් ලැබිල මට පුදුමත් හිතුණ. හැබැයි ලෝකෙට පේන්න එහෙම කළාට හිතිං කුහකයි කියල හිතුණ.

      Delete
  2. හැම දෙයක්ම බොහොම සාධාරණව තරකානුකූලව කරන්න හැම ඉඩ ප්‍රස්තාවක්ම තියෙද්දීත් තමයි කැම්පස් සහ දොස්තර කුහක පරම්පරාව මේ රට ගිනි තියන්න යන්නේ.
    ඔබේ පැහැදිලි කිරීම සහ තර්කානුකූල නිර්දේශ සේරම බොහොම ඉහලින් පිලිගන්නවා...
    මේ වගේ ලිපියක් ලිවීමත් බොහොම වැදගත් වැඩක්.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ තිබෙන ඉහලම ශ්‍රේණිගත කිරීම හිමි විශ්වවිද්‍යාලයෙන් උපාධියත්, පශ්චාත් උපාධිය ගන්න පුළුවන් වුන කෙනෙක්. එත් අපි සුපිරි මිනිස්සුය, මුදල් ගෙවා මුලික උපාධිය ගත අය අදක්ෂ මෝඩයෝය කියන මිත්‍යාවේ ඉන්න මට අවශ්‍ය නෑ.

      පශ්චාත් උපාධි පාඨමාලාවේ වැඩ වලට සහය කථිකාචාර්ය වරයෙක් සම්බන්ධ වුන මගේ අත්දැකීම නම්, මුදල් ගෙවා ඉගෙන ගතිපු, කියවන්න හිතන්න පර්යේෂණ කරන්න උනන්දු අයත්, නොමිලේ ඉගෙන ගතිපු, කියවන්න හිතන්න කම්මැලි, කණ්ඩායම් ප්‍රයෝගික පරීක්ෂණ වලදී අනෙත් පැත්තක වාඩිවෙලා පාඨාංක විතරක් අනුන්ගේ බලාගෙන ලියා ගතිපු අයත් ඉන්න බව.

      මුදල්ගෙවා ඉගෙනගත්තත්/නොමිලේ ඉගෙන ගත්තත් යමක් හරියට කරන අය රටට ආලෝකයක් වගේම, මුදල්ගෙවා ඉගෙනගත්තත්/නොමිලේ ඉගෙන ගත්තත් යමක් හරියට නොකරන අලසයෝ රටට බරක්.

      Delete
  3. 3.//ලෝකේ බොහෝ රටවල් වල වෛද්‍ය වෘත්තිකයන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය කලින් කලට අලුත් කලයුතුයි. එසේම බරපතල අත්වැරදී සිදුවීම සහ අවකල්ක්‍රියාවන් වැනි දේ වෛද්‍ය වෘත්තිකයෙකු අතින් නැවත නැවත සිදු වේ නම් එවැනි අයගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ඉක්මනින් විදිමත්ව අත්හිටුවීමෙන් පසු වැරදි වල ප්‍රමාණය අනුව බලපත්‍රය සදහටම අවලංගු විය හැකයි.//

    ලංකාවේ වෛද්ය සභාව පවත්වාගෙන යන්නේ හුඟ කලෙකින් යාවත්කාලීන නොකල නීති රීති පද්දතියක් අනුව එය යවත්කාලීන කිරීම වෛද්යතවරුන් විසින්ම තම වාසිය උදෙසා පාමාකරමින් සිටිනවා. උදාහරණයක් විදියට ගත්තොත් දියුණු රටවල සහ බොහෝ නොදියුණුයයි සම්මත රටවල්වල වෛද්ය සභා මගින් වෛද්යටවරයෙක් පිළිබඳ පාරිභෝගික පෑමිනිල්ලක් ලැබුණ විට එය විභාග කරීමෙන් අනතුූරුව එම වෛද්යටවරයාගේ වැරද්දේ ස්වභාවය අනුව තවකාලික ලියාපදිංවිය අහෝසිකිරීම , පුනරුත්ඨාපනය කිරීම, මානෙසික ප්රොතිකාර සඳහා යැවීම, නැවත පුහුණු කීම සහ අවසන් වශයෙන් ලියා පදිංචි අහෝසිකිරීම වැනි ක්රිසයාමාර්ග ගන්නවා . නමුත් ලංකාවේ වෛද්ය සභාවට එවැනි බලයක් නෑ . තිබෙන්නේ ලියාපදංචිය අහෝසිකරණ බලය පමණයි. ඒක හරියට ඕනම වැරද්දකට අවම දඪුවම මරණ දඪූවම වගේ . ඒක නිසා කිසිම වැරද්දකට දඪුවම් නැහැ .

    ReplyDelete
    Replies
    1. ඔවු. නීති පද්ධති යාවත්කාලීන කරලා රෝගීන්ගේ ආරක්ෂාව සැලසීම වෙනුවට; වර්ජන වගේ ගොඩ වෙදකම් වලින් ඒ වැඩේ කරන්න යාම තමයි මෙතන එන අවුල.

      මේ ගැන සංවාදයක් ඇති කරලා රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ඉදිරි පියවරක් තියන්න සලසනවා වෙනුවට; දෙපිලට බෙදිලා දෙපැත්තට මඩ ගහ ගැනීමක් දැන් වෙන්නේ. ඒ දෙපාර්ශවයේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. මහජනයා විදියට අපි කරන්න ඕනේ ඒ එක පැත්තකට හේත්තු වෙලා මඩට සම්මාදම් වීම නෙවෙයි.

      අපි කරන්න ඕනේ රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ඉදිරි පියවරක් වෙනුවෙන් දෙගොල්ලන්ටම පැන යා නොහැකි තැනකට ගෙන ඒම.

      අවාසනාවට බොහෝ දෙනෙක් මේ යල්පැන ගිය නීති රීති යාවත් කාලීන කිරීමේ හොඳ වැඩේට උනන්දු නෑ, මඩට තරම්. දේශපාලනයේ දී දෙපිල බෙදිලා රැවටෙන ජනතාවට මෙතනත් වෙන්නේ ඒ දේම තමයි.

      Delete
  4. වෛද්‍ය සභාව, සයිටම් ආයතනය, සහ උසස් අධ්‍යාපන බලධාරීන් ඇතුලු වගකිව යුතු අයගේ එකතුවෙන් විසඳා ගත යුතුව තිබු වඩාත් විවෘත අවස්තාවන් මගහැර දමා ගොස් අන්තිමට නීතිය උත්තර දෙනකම් ඇදන් ගියා.. මට නම් හිතෙන්නේ මේ තුවාලය සුවකර ගන්න කාටවත් උවමනාවක් නැහැ. නිසි නියාමනය හෝ එහි බඳවාගැනීමේ මූලික සිද්ධාන්ත, විශයමාලා වැනි දේ සාකච්ඡා විය යුත්තේ අධ්‍යාපනඥයින් අතරේ සහ බලධාරීන් අතරේ මිසක, දේශපාලන පක්ෂ හා වෛද්‍ය යූනියන් එක්ක නොවන බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පැත්තක ඉන්න අපිට තේරෙන ඔය ටික ඔය මහත්තුරුන්ට නෝනලාට නොතේරෙනවා නෙවෙයි නේ.

      දැන් රෝගීන් ගේ ජීවිත අනතුරේ කියල කෑගැහුවට ඔතනට වට වෙලා ඉන්න පාර්ශවයන්ට වෙන වෙන ඇජෙන්ඩා තමයි වැඩිපුර තියෙන්නේ. පිට ඉදන් අප්පුඩි විසිල් ගහන අයටත් එහෙම තමයි. SLMC නම් හදන්නේ අඩුව එයාල අතේ තියාගෙන අපි අත පුච්චගන්න තැනට වැඩ සලස්වන්න.

      මගේ විශ්වාසය නම් අපි පෙනී හිටින්න ඕනේ රටේ දියුණුවට අවශ්‍යයි කියල හිතෙන දේ වෙනුවෙන් මිසක් ; අපිට අවශ්‍ය දේ හෝ අපිට ගන්න පුළුවන් දේ වෙනුවෙන් නෙවෙයි.

      දේශපාලනය පක්ෂ ගැනත් අරුණ සහෘද්දයා කියපු නිසා. ජවිපෙ "අපේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකශනය මම සම්පූරණයෙන් වගේ කියෙව්වා. එකේ කියවෙන්නේ ඔවුන්ගේ රට දියුණු කරන මග දියුණු කරන ලද මානව සම්පත බව. නමුත් දැන් ඔවුන් පෙනී හිටින්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන දේවල් වෙනුවෙන්ද කියන එක සැකයි. මානවයෝ තමුන්ගේ මුදල් විදයදම් කර ගනිමින් හරිහැටි දියුණු වුනත්, රජයේ මුදල් වලින් හරිහැටි දියුණු වුනත්, ඒක සම්පතක්.

      මුදල්ගෙවා ඉගෙනගත්තත්/නොමිලේ ඉගෙන ගත්තත් යමක් හරියට කරන අය රටට ආලෝකයක් වගේම, මුදල්ගෙවා ඉගෙනගත්තත්/නොමිලේ ඉගෙන ගත්තත් යමක් හරියට නොකරන අලසයෝ රටට බරක්

      ජවිපෙ තවම හිරවෙලා තියෙන්නේ අඩසියවසකට කලින් කියපු ධනපතියා වැඩකරන පන්තිය වගේ වචන වලට විතරයි. තව අඩසියවසක් ගියත් වෙනස් වෙන්න බැරි වෙයිද මන්දා. ජවිපෙ තවම ඇදෙන්නේ පරණ තැනටම තමයි.

      Delete
    2. ////මගේ විශ්වාසය නම් අපි පෙනී හිටින්න ඕනේ රටේ දියුණුවට අවශ්‍යයි කියල හිතෙන දේ වෙනුවෙන් මිසක් ; අපිට අවශ්‍ය දේ හෝ අපිට ගන්න පුළුවන් දේ වෙනුවෙන් නෙවෙයි/////////

      ඔය හැමෝම නටන්නේ වෙන වෙන වන්නම්. රටේ වන්නමට නටන්න කෙනෙක් නැහැ. සයිටම් සහ සයිටම් විරෝදී දෙකම ප්‍රශ්නේ අවුල් කරනවා..

      Delete
    3. මට මතක හැටියට 'සයිටම්' තරමට දරුණු නැති වෛද්‍ය විද්‍යාවට අදාළ ප්‍රශ්නයක් දැනට අවුරුදු 60 කට පමණ ඉහතදී තිබුණා. ඒ උසස් පෙළ සත්ත්ව විද්‍යාව සඳහා සතුන් විචඡේදන සම්බන්ධව. එක් පාර්ශවයක් කියා ගෙනම සිටියා වෛද්‍ය වරයෙකු වීම සඳහා උසස් පෙළේදී ස ත්ත්ව විද්‍යාව සඳහා කරන විචඡේදනය වෛද්‍ය වරයෙකු කරන ශල්‍ය කාර්ම වලට වැදගත්ය කියා. තවත් පාර්ශවයක් මෙසේ නොමැති බව කීවා.මෙය නම උසාවි ගියේ නැහැ. එවකට සිටි අධ්‍යාපනඥයින් සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගත්තා. එදාට වඩා දියුණු යුගයක දේශපාලනය ඈඳා ගන්නේ නැතිව මේ ප්‍රශ්නය බේරා ගන්නට අපේ උගතුන්ට බැරි මොකද?

      Delete
  5. මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබ ගෙන එන යෝජනාව සමග මමත් එකඟ වෙනවා.වෛද්‍ය සභාව මුල සිටම මේ රජය සමගින් ගැටුම් හදා ගනිමින් ඉන්න නිසාත් තමන්ගේ බමුණු කුලය රැක ගැනීමේ අවශ්‍යතාව නිසාත් මෙවැනි සාධනීය යෝජනා එක්ක කිසිවිට එකඟ වේයයි සිතන්න බැහැ.කොහොම උනත් මේ ආයතන වසා දැමීම නොවේ කරන්න ඕන.නිසි නියාමනයක් සහිතව මේවා තව දුරටත් ගොඩ නංවා පවත්වාගෙන යාමයි කල යුත්තේ.ඒ තුලින් අධ්‍යාපනයේ තරගකාරිත්වය ගොඩ නංවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නැවත නැවත සිදුවෙන වැරදීම් අතපසුවීම් වැලකීමට ක්‍රමවෙධයක් යෝජනා කරන්න තවත් බොහෝ දෙනෙකුට පුළුවන් ඇති.

      එත් කල්ලි කණ්ඩායම් වල අජෙන්ඩා අනුව හිතා මතා කරන කඩාකප්පල් කාරී කූඩු කේඩු කම් වැලකීමට නම් ක්‍රම්වෙධයක් යෝජනා කරන්න කිසිවෙකුට බැරිව ඇති.

      Delete
  6. මුලින්ම ස්තුතිවන්ත වෙනවා කැම්පස් කුහකයෝ ය.. අරකය.. මේකය කියල බැන අඬගහන ලාමකත්වයෙන් මිදිලා නැවතිල්ලේ කරුණු ඉදිරිපත් කලාට.
    ගස්ලබ්බා මේ ගැන ලියපු වෙලාවෙ ගස්ලබ්බත් ටිකක් විතර ආවේගශීලීව තමයි ලියල තිබුනෙ.හෙහ් හෙහ්
    කොහොම උනත් ඔබ ඉතාමත් අගේට කරුණු පෙලගස්වලා තියනවා.අදටත් ඉතා සුළුවශයෙන් විදෙස් සිසුන් අපේ වයිද්‍යවිද්‍යාල වල අධ්‍යාපනය ලබනවා.
    ඉතාමත් පහසුවෙන් ගුණාත්මක සේවාවක් ලබාදෙන්න පුළුවන් අපට අධ්‍යාපන අංශයෙන්.විදේශ විනිමය උල්පතක්.
    නමුත් අපේ ඒ ස්වර්ණමය අවස්ථාව නෙවිල් ප්‍රනාන්දු සහ පිරිසක් විසින් විනාශකරමින් සිටිනවා.බලධාරීන් පවා මෙයට හවුල්.
    විශාල මුදල් කැරකෙන ක්ශේත්‍රයක සංවේදී කරුණු ගැන පිටතට පෙන්වන චිත්‍රයට වඩා ගැඹුරක් ඇති බවයි ගස්ලබ්බා අද වන විට කල්පනා කරන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබ බොහොම විවෘත්තව මේ ගැන බැලීම ගැන ඔබටත් ස්තුතියි.

      මෙතන ලොකු දේශපාලන සහ ව්‍යාපාරික ගේම් කිහිපයක් තිබෙනබව පේනවා. ඒ වගේම දොස්තරලාගෙන් පරිප්පු කෑ කට්ටිය ඒ පැත්තටත්, ධනවතුන් ගෙන් බට කෑ කට්ටිය අනික් පැත්තටත් සැරට මඩ ගහ ගන්නවා. හැබැයි සයිටම් අයත් දොස්තර වුනහම ඔය දැන් අයගේ විදියම වෙන නිසා, මහජනයා විසියට අපි බලන්න ඕනේ අපේ ආරක්ෂාව ගවුරවය රැකගෙන ප්‍රතිකාර අවශ්‍ය වන නීති රීති ඇතිකරගන්න සංවාදය මතු කරන්න මේ අවස්ථාව භාවිත කරන්න. හැබැයි නොවෙන්නෙත් ඒකමයි.

      Delete
    2. ඊලගට, ඔය සමහරු කියනවා වගේ මුදල් ගෙවා ඉගෙන ගෙන උපාධි ගන්න පුළුවන් තැන් උපාධි කඩ නොවෙයි. ඒ වගේම අපි රාජ්‍ය විශ්විද්යලවලින් නොමිලේ ගතිපු උපාධි පිනට දීපුවත් නොවෙයි. ඒවා බොහොමයක් මහන්සියෙන් උපයා ගත් සුදුසුකම්. ඔය මුදල් ගෙවා ඉගන ගන්න සමහර තැන් වල ඔබලාගේ යාලුවෝ ඇති. ඔබ දන්නවා ඇති අසමත් වන අයත් ඉන්න බව.

      මම පශ්චාත් උපාධි කරන කාලේ වියදමට සල්ලි හොයා ගත්තේ ගෙවල් වලට ගිහින් උගන්නලා. ඒ කාලේ එකේ Ichem උපාධි කරන ළමයින්ගේ අමාරු විෂයන් දෙක තුනකට ඒ අයටත් ටියුෂන් කළා. ඒ ලෙවල් ළමයින්ගෙන් නම් ගත්තේ බොහොම සාමාන්‍ය මුදලක්. ක්ලාස් එකට යන්න එන්න ටියුට් ෆොටෝ කොපි කරන්න ගියාට පස්සේ බෝඩිම් ගාස්තුව ගෙවාගෙන හොදට කාල හොදට බීල ෆෝන් බිල් ගෙවාගෙන ඉන්න ඕනේ ගාන විතරක් කවර් කරගන්න. ඒත් Ichem ළමයින්ගෙන් නම් වැඩි ගණනක් ගත්තා. ඒ දෙමවුපියෝ අපිට සල්ලි දීල ටියුෂන් ගන්නේ නෑ එහෙම කඩෙන් ගන්නවා වගේ උපාධි දෙනවා නම් ඒ තැන් වලින්. IChem IESL SLIIT සහ තව නම් නොකියවුණ උපාධි ගන්නේ කැම්පස් එකෙන් ගන්නවා වගේම කට්ට කාල අමාරුවෙන්. ඒ ලමයි මේ ළමයි කාට වුනත් එහෙම අපහාස කරන එක කැතයි.

      අනික. සයිටම් හෝ ඕනෙම තැනක උපාධි දෙන විට ගුණාත්මක භාවය නැතිව දෙනවා නම් ඊට විරුද්ධව හඩක් නගන්න කොන්දේසි විරහිතව මමත් එකඟයි.

      කැම්පස් ළමයි කුහක නෑ. නමුත් ඒ අය ඉන්නේ පීඩනයෙන් මුදල් නැති කම සහ රැකියා හිඟකම වගේ දේ නිසා. මුදලේ අසාධාරණය වගේ දේවල් ඔබ අපි දකිනවා වගේ දකින්න ඔවුන් තරුණ වැඩියි. ඒවා පාවිච්චිකරලා ඒ ළමයි අවුස්සන්න හදන උගත් වැඩිහිටි දේශපාලකයෝ සහ සමහර වෘත්තිකයෝ තමයි කුහක.

      සයිටම් එකෙට සම්බන්ධ ව්‍යාපාරිකයොත් සෞක්‍ය ක්ෂේස්තරයට සම්බන්ධ ව්‍යාපාරිකයොත් විදේශ විශ්විද්‍යාල වලට ළමයි සොයල දන උප ඒජන්තයොත් දෙපැත්තට තුන් පැත්තට ඇද ඇද අවුලක් කරන්නේ එයාලගේ වාසියට මිසක් අපේ හොදට නෙවෙයි.

      Delete
  7. ලෝකේ බොහෝ රටවල් වල වෛද්‍ය වෘත්තිකයන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය කලින් කලට අලුත් කලයුතුයි. එසේම බරපතල අත්වැරදී සිදුවීම සහ අවකල්ක්‍රියාවන් වැනි දේ වෛද්‍ය වෘත්තිකයෙකු අතින් නැවත නැවත සිදු වේ නම් එවැනි අයගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ඉක්මනින් විදිමත්ව අත්හිටුවීමෙන් පසු වැරදි වල ප්‍රමාණය අනුව බලපත්‍රය සදහටම අවලංගු විය හැකයි.////////////////// this is a good thing

    ReplyDelete
  8. ඔය සමහරු කියනවා වගේ මුදල් ගෙවා ඉගෙන ගෙන උපාධි ගන්න පුළුවන් තැන් උපාධි කඩ නොවෙයි. ඒ වගේම අපි රාජ්‍ය විද්‍යාලවලින් නොමිලේ ගත්තු උපාධි පිනට දීපුවත් නොවෙයි. ඒවා බොහොමයක් මහන්සියෙන් උපයා ගත් සුදුසුකම්. ඔය මුදල් ගෙවා ඉගන ගන්න සමහර තැන් වල විභාග අසමත් වන අයත් ඉන්නව.
    අන්න ඒ කතාව මසුරං වටිනවා.

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.