Wednesday, March 15, 2017

පශ්චාත් උපාධි කඩ ද ? පශ්චාත් උපාධි සමුපකාර ද ?

ප්‍රගතිශීලින් යයි කියා ගන්න අය විශ්වවිද්‍යාල යනුවෙන් හදුන්වන්නේ නොමිලේ ඉගෙනගෙන උපාධිය ලබාගතහැකි ආයතන පමණි.  මුදල් ගෙවා ඉගෙන ගෙන  උපාධි ලබාගත හැකි ස්ථාන ඔවුන් හදුන්වන්නේ උපාධි කඩ යනුවෙනි. එතැන් වල උපාධි මුදලට විකුණන බව ඔවුන් කියති.




එමෙන්ම රාජ්‍ය විශ්විද්‍යාල වල මුදල් ගෙවා පශ්චාත් උපාධි හැදෑරිය හැකි ආයතන ද මේ බුද්ධිමත් ප්‍රගතිශීලීන්ගේ න්‍යායට අනුව පශ්චාත් උපාධි කඩ වෙනු ඇත. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුලික උපාධි ලබාදෙන අතර; පේරාදෙණිය Postgraduate Institute of Science (PGIS), Postgraduate Institute of Agriculture (PGIA) පශ්චාත් උපාධි කඩ පශ්චාත් උපාධිය මුදලට විකුණයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මුලික උපාධි ලබාදෙන අතර ශ්‍රී ජයවර්ධනපුර Postgraduate Institute of Management  (PIM) පශ්චාත් උපාධි කඩය මුදලට උපාධි විකුණයි. කොළඹ විශ්වවිද්‍යාලය ද උපාධි ලබාදෙන අතර එය පශ්චාත් උපාධි මුදලට විකුණන කඩයකි. මම එහි සිටි නිසා, පශ්චාත් උපාධි කඩයේ අදායමෙන් විශ්විද්‍යාලයේ මුලික උපාධි සිසුන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සැපයෙන බව දනිමි. මෙසේ බැලු කල රජයේ බොහෝ විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන නමුත් ඒවා පශ්චාත් උපාධි මුදලට විකුණන පශ්චාත් උපාධි කඩවල් වේ. ඊනියා ප්‍රගතිශීලීන්ට මේ ශ්‍රී ලංකාවේ පශ්චාත් උපාධි ලබාගත් සියලුම දෙනා පාහේ පශ්චාත් උපාධි මුදලට ගත් ධනපතියන් ලෙස පෙනුනද පුදුම වීමට කරුණක් නොවේ. ඒ ඔවුන්ගේ දැක්මේ ප්‍රමාණයයි.    

කොළඹ විශ්විද්‍යාලය වෛද්‍ය උපාධිය ලබාදෙන විශ්වවිද්‍යාලයක් මෙන්ම එහි Postgraduate Institute of Medicine (PGIM) වෛද්‍ය පශ්චාත් උපාධි විකුණන වෙද පසු-උපාධි කඩයක ලෙස මොවුන් හැදින්විය හැකිය.


කඩ බොහෝ විට පුද්ගලික අංශයට අයිති වේ. මෙනිසා පුද්ගලික විශ්වවිද්‍යාල උපාධි කඩ ලෙස ඔවුන් හදුන්වනවා යයි මම සිතමි. එත් ඔවුන් IESL, KDU, NSBM, IChem වැනි මුදල් ගෙවා ඉගෙනගෙන උපාධි හෝ උපාධි සම සුදුසුකම් ලබාගතහැකි රාජ්‍ය අනුබද්ධ/ස්වාධීන ආයතන උපාධි කඩ ලෙසින් හැදින්වීම නොගැලපීමක් ලෙස මට පෙනේ. සමහර ඒවාගේ අයිතිය රජයට එනම් අපටද ඇති නිසා ඒවා ඔවුන්ගේ න්‍යායට අනුව "උපාධි සමුපකාර" ලෙස හැදින්විය හැකිද යන්න මට සිතේ. පශ්චාත් උපාධි කඩද ? පශ්චාත් උපාධි සමුපකාරද ?

පසු සටහන.
අද දිවයින පුවත්වතේ තිබෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වල මුලික උපාධි සිසුන් ගේ පුරප්පාඩු 1700 ට අධික ප්‍රමාණයක් තිබෙන බවයි. පහත වාක්‍ය කිහිපය දිවයින පුවත්පතෙන් උපුටා දක්වමි. "මේ අතරින් වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක්‌ පවතින්නේ විද්‍යා සහ කෘෂි විද්‍යා පීඨවලය. රුහුණ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ පුරප්පාඩු 158 ක්‌ ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 100 කට අධිකය. කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ පුරප්පාඩු 90 ක්‌ පමණ ඇත. විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා විශාල පිරිසක්‌ බලා සිටියදීත් ඒ ඒ පීඨවල පවතින මෙම පුරප්පාඩු නොපිරවීම අපරාධයක්‌ යෑයි මහාචාර්යවරු පෙන්වා දෙති." මගේ අදහස අනුව නම් මේ මහා ඉහිලිය නොහැකි අපරාධයකි.

නිදහස් අධ්‍යාපනය ගැන කතාකරන සියල්ල දත් මහතුන්ට මේ ලැබුන නිදහස් අධ්‍යාපන අවස්ථා 1700 පහසුවෙන්ම සුරක්ෂිත කිරීමට වැඩකිරීමට කාලයක් නොමැත. ඒ ඔවුන්ට තිබෙන පුද්ගලික විශ්වවිද්‍යාල වැසීමේ උතුම් ජීවිත පරිත්‍යාගයෙන් බාරගත් කොන්තරාත්තුවෙන් ඔවුන් බොහෝ කාර්යබහුල වී ඇති බැවිනි. 

20 comments:

  1. නිදහස් අධ්‍යාපනය ගැන මරාගෙන මැරෙන්න සුදානමින් ඉන්න අයට නොතේරෙන දෙයක් තමයි මුදල් ගෙවා ඉගෙන ගන්න කැමති අයට එසේ ඉගෙන ගන්න අවස්ථාව දීම තුල සීමිත ඉඩක් ඇති රජයේ විශ්ව විද්‍යාල වල මුදල් නොමැති අයටත් උසස් අධ්‍යපන වරම් ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙන බව.

    ReplyDelete
    Replies
    1. රජයේ සහ පුද්ගලික අංශයේ විශ්වවිද්‍යාල යන දෙකම දැනට තිබෙනවාට වැඩිය හොඳ තැනකට ගෙනියන්න පුළුවන් ඒවා අතර හොඳ සම්බන්ධීකරණයකින්.

      ඒවාට ක්‍රම සහ ප්‍රතිපත්ති සම්පාදනය කරලා හරියට කරන්න පුළුවන් මිනිස්සු රටේ නැතිව නෙවෙයි. දැන් වෙලා තිබෙන්නේ මේ විරෝදය වාසි ලබන හිගන්නාගේ තුවාලයක් කරගෙන කොටස් කීපයක්ම එයින් යැපෙන්නට යෑම.

      ඉහල මධ්‍යම පන්තියේ ළමයි කරන ලොකු වැරද්දක් තමයි මේ රජයේ විශ්විද්යලවලට අයදුම් කරලා ලියාපදිංචි වෙලා උපාධිය නොකර අතහැරලා දාල කොළඹට ඇවිත් වෙන දේවල් කරන එක. ඒකෙන් වෙන කෙනෙකුගේ අවස්ථාව නැති වෙනවා.

      Delete
  2. ඔයාල මොනාද දන්නෙ කෙන්? අන්න ලහිරු මහත්තයා එක්ක එහෙම ටිකක් කතා කරලා බලන්නකෝඅ ඒ ගොල්ලො කොච්චර දැන උගත් ද කියලා... ඔය උපාධි කඩ වල එකෙක් ඉන්නව ද ආන්න ඒ වගේ කතා කරණ, ජනාදිපතිගෙන්ම ගේම ඉල්ලන්ඩ තරම් නිර්භීත එක චරිතයක්.. වැඩිය ඕනා නෑ එකෙක් !

    ආන්න ඒකයි වෙනස...

    ReplyDelete
    Replies
    1. ඒ මහත්තයල ඉතින් ඕවා පාරම්පරික කට පාඩමෙන් ගෙනාපු දැනුමනේ. අපි ඉතින් මේ යන්තම් තනියම ඉගෙනගතිපුවා නේ.

      අපිත් නොමිලේ උපාධි ගතිපු අය තමයි. නමුත්, මම එහෙම ආවය කියල ඒ ක්‍රමය විතරක් තියෙන්න ඕනෙය කියන තැනට මම එන්නේ නෑ.

      බොහෝ දේවල් වලදී ලිබරල් අදහස් දරන අය පවා, මුදල් ගෙවා ඉගෙන ගන්න විශ්විද්‍යාල ගැන කතාවේදී විවෘත්තව බලන්න පවා සුදානම් නැති බව මට පෙනෙන්නේ. ඕකත් හරියට ඇනෝඩය කැතෝඩය ගැන අපි පොඩි කාලේ හිතාගෙන හිටිය වගේ තමයි. (කලින් කොහේ හරි මේ ගැන ලිව්වා මතකයි). ඇනෝඩය ධණ ආරෝපිතයි කියල හැමෝම කියන නිසා එහෙම හිතාගෙන හිටියට අපි ඒකෙ විද්‍යාත්මක නියමය දන්නේ නෑ නේ. ෆැරඩේ නියම ඉගෙන ගත්තම තමයි ඇත්ත වැටහෙන්නේ. එතකම් හැමෝම කියන දේ හරිය කියල හිතාගෙන ඉන්නවා. මේ වගේ සමාජීය දේවල් වලට එහෙම නියම නැති නිසා තමුන්ගේ මට්ටම් තම්මැට්ටම් කියල ඉන්න එක තමයි කරන්න වෙන්නේ.

      Delete
  3. //රාජ්‍ය විශ්විද්‍යාල වල මුදල් ගෙවා පශ්චාත් උපාධි හැදෑරිය හැකි ආයතන ද මේ බුද්ධිමත් ප්‍රගතිශීලීන්ගේ න්‍යායට අනුව පශ්චාත් උපාධි කඩ වෙනු ඇත.//
    රාජ්‍ය විශ්විද්‍යාල වල මුදල් අයකරන පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වාදෙන යෝජනාව ඉදිරිපත් වූ කාලයේදී එය හැඳින්වූයේද මේ ආකාරයෙන්ම නිදහස් අධ්‍යාපනය විනාශ කරන පියවරක් වශයෙනි.

    ReplyDelete
    Replies
    1. මම එවැනි දෙයක් දැන නොසිටියෙමි. ඒ ගැන දැනුවත් කිරීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි. එමෙන්ම එයින් මවිතයට පත්වෙමි.

      පශ්චාත් උපාධිවලටත් නිදහස් අධ්‍යාපනයේ දී සිදුවන ලෙස වභාගවලින් වැඩිම ලකුණු ගන්න කිහිප දෙනෙකුට ඉඩදී අනෙකුත් අය පැත්තකට කර තබන ක්‍රමය ඇතිවූවා නම් පශ්චාත් උපාධියක් හදාරන්නට ඉඩ ලැබෙනු ඇත්තේ ප්‍රථම පන්තියේ උපාධිදාරියෙකුට පමණක් විය හැකිය.

      එසේ වුණා නම් අද අපේ රට මේ තිබෙනවාටද වඩා බොහෝ පසුපසින් තිබෙන්නට ඉඩ තිබුණි.

      Delete
  4. පශ්චාත් උපාධි, විවුර්ත විශ්ව විද්‍යාල වගේ ඒවා කරන්නේ රැකියා කරන ගමන්. නමුත් ෆුල්ටයිම් කෝස් වලට මුදල් ගෙවන්න හැමෝටම බැහැ.

    හාල් කිලෝවේ ඉදන් හැමදේම පාලන මිලකට යටත් වන රටක පෞද්ගලික අද්‍යාපනය මිල පාලනයක් නැහැ. open එකේ සාධාරණ මිලකට engineering කරන්න පුළුවන් වුනාට පෞද්ගලික ආයතනවල කැමති මිලගණන් අය කරනවා. ඒ ගණන් වලට ණය වෙලාවත් ඩිග්‍රී කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අර ඉල්ලුම හා සැපයුම පිලිබඳ න්‍යාය කියලා එකක් එහෙම අහලා තියනවද?

      Delete
    2. OU එකේ මිලට KDU එකේවත් ඉගෙන ගන්න බැහැ නේද ? KDU Engineering රුපියල් ලක්ෂ 16 පමණ වෙනවා. රජයේ විශ්විද්‍යාල අයකරන මිල අනුව +/- 10-25% වැනි පරාසයක පවතින ගාස්තුවක් පුද්ගලික විශ්විද්‍යාල වෙත නියාමනය කිරීම සුදුසු බව මම හිතන්නේ.

      නමුත් ඒ ගැන රටේ ක්‍රමවෙධයක් ඇතිවීමට නම් "මුදල් ගෙවා ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල නියාමනය කිරීම" කියන කතිකාවයි ඇතිවිය යුත්තේ. ඒවා "වසා දැමීම" කියන කතිකාව ඇතුලේ ඔය කියන ක්‍රමවේධ සැකසෙන්නේ නැති බවයි මම හිතන්නේ.

      පශ්චාත් උපාධි ගැන: බොහෝවිට ඒවා සැකසී තිබෙන්නේ ප්‍රමෝෂන් ගන්න ඕනේ නිසා පාස් කරගන්න ලෙස මිසක් වෘත්තිකයෙන්ගේ ගුණාත්මක භාවය වැඩි කරන ලෙස නෙවෙයි. සිකුරාදා හැන්දෑවේ සහ සෙනසුරාදා පමණක් පාඨමාලා පවත්වා පූර්ණකාලීන උපාධියක් ලබාදීමේ ක්‍රමවෙධය වැරදියි. Young students ලාට Academic full time postgraduate program සහ වෙනම Mid carrier professional ලාට part time postgraduate program වෙනම සැකසිය යුතුයි.

      දැන් ඔය තියෙන M.Phill නම් සැහෙන දියාරු බව තමයි මගේ අවබෝධය. හරියට M.Phill එකක් award කරන supervisors ලා ඉන්නේ ඉතාම ඉතාම කීප දෙනෙක්.

      Delete
    3. ඉල්ලුම සැපයුම පිලිබඳ න්‍යාය කියලා එකක් අහල තිබෙනවා.

      මිල පාලනය අවශ්‍ය වෙන්නේ ඉල්ලුම සැපයුම පිලිබඳ ස්වභාවික තුලනය ඇති නොවෙන අවස්ථාවක ඇතිවෙන මිල ඉහල නැගීම කෘතිමව පාලනය කිරීමට නේද ?

      ඉන් ඔබ කියන්නේ මුදල් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනයට ඇති ඉහල ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නට තව බොහෝ එවැනි ආයතන ඇති කල යුතු බවද ?

      සමාවෙන්න. මට ඔබේ අදහස පැහැදිලි මදි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සයීිම් එකට ගන්න අවම සුදුසුකම ලෙස අදාල වර්ශයේ උසස්පෙළ රජයේ වෛද්‍ය පිඨයට ඇතුල්වුන අවම Z අගය හෝ ඊට වඩා වැඩිවිය යුතු බවත් . ලංඩන් EDEXL , Cambridge A/L කරණ අයට එම අවම Z අගය ඇති ලංකාවේ A/L ප්‍රතිළුලයට සමාන හෝ වැඩි ප්‍රූරතිළුලයක් තිබිය යුතුයි කියා මා යොජනා කරමි.වෛද්‍ය සභාව පිළිගන්නා විදේශ වෛද්‍ය උපාධි වලට ඊට වඩා අඩු ප්‍රතිළුල(C1, S2) ඇති අයට යාහැක !

    ReplyDelete
    Replies
    1. මට ඔබ ලියා ඇති වාක්‍ය වල මධ්‍යගත අදහස අනුමාන කරන්නට උත්සාහ කරන්නට පුළුවන්.

      මම හිතන්නේ එයින් අදහස් වෙන්නේ වෛද්‍ය වෘත්තියට ඇතුල්වෙන ගුණාත්මක භාවය ගැන වෙන්න ඇති. විදේශ උපධිදාරීන්ට ACT16 ලියන්න වෙන නිසා ඔවුන් අඩු A/L ප්‍රතිඵල වලින් උපාධි හැදෑරුවට කමක් නෑ වගේ අදහසක් මගේ අනුමානයට අනුව එන්නේ. මම හරිද මන්ද ? ඒ අනුමානය මත සිටිමින් මම ඔබට අදහසක් දක්වන්න කැමතියි පහලින්.

      Delete
    2. //සයීිම් එකට ගන්න අවම සුදුසුකම ලෙස අදාල වර්ශයේ උසස්පෙළ රජයේ වෛද්‍ය පිඨයට ඇතුල්වුන අවම Z අගය හෝ ඊට වඩා වැඩිවිය යුතු බවත් //

      එතකොට මොන වගේ ශිෂ්‍ය කණ්ඩායම් මේ වගේ තත්වයක දී සයිටම් එකට ඒවි කියල ඔබ බලාපොරොත්තු වෙන්නේ ? ඔබ කියන ආකාරයට නම් රජයේ විශ්වවිද්‍යාල වල නොමිලේ ඉගෙනගන්න තේරුණු සිසුන් තමයි ඉතින් සල්ලි දීල සයිටම් එකට එන්න ඕනේ මේ වගේ කොන්දේසියක් යටතේ නම්.

      එය ප්‍රයෝගික යයි ඔබ සිතනවද ? මම නම් හිතන්නේ නෑ.

      //ලංඩන් EDEXL , Cambridge A/L කරණ අයට එම අවම Z අගය ඇති ලංකාවේ A/L ප්‍රතිළුලයට සමාන හෝ වැඩි ප්‍රූරතිළුලයක් තිබිය යුතුයි කියා මා යොජනා කරමි//

      ලන්ඩන් විභාගයේ Z score එකක් ලබා දෙනවද දැන් ?

      මේ විභාග එකිනෙකට වෙනස්. ලන්ඩන් විභාගය වැනි ලොවපුරා සිඋන් ලියන විභාගයක ලකුණුවල කුටිකතාවය ඉතාම වැඩියි. Z score තිබුනත් ඒවා ගලපන්න පුළුවන් යයි හිතන්නට අමාරුයි.

      .....................................................
      මගේ අදහස නම්; පාඨමාලාවට සිසුන් තෝරාගැනීමේ තරඟ විභාගයක් පැවැත්විය යුතුය කියන එක. එම විභාගය රජයේ වෛද්‍යපීඨ/SLMC වල අධීක්ෂණය යටතේ පැවැත්වීම සුදුසුයි. දැනට NDT වගේ පාඨමාලාවලටත් එම ක්‍රමය තිබෙනවානේ. එම තෝරාගැනීමේ විභාගයෙන් ඉහලම ලකුණු ගන්නා පිළිවෙලට සිසුන් සංඛ්‍යාවක් minimum mark requirement එකක් සහිතව බඳවාගැනීම ගැනීම ලෝකයේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. වැඩිම ලකුණු ගන්න සිසුන්ට ශිෂ්‍යත්ව ආදියත් ලබාදීමට ආයතනය වෙත කොන්දේසි පැනවීමට රජයටහැකියි එවිට.

      Delete
    3. තව දෙයක් කියන්න බැරි වුනා.

      SLMC විසින් නීති රෙගුලාසි හදනවිට SAITM වලට වෙනම නීති හදන්නට යාම නිසා තමයි ඔවුන් නීතිය ඉදිරියේදී පරදින්නේ. නීති රෙගුලාසි හැදෙන්නට ඕනේ සියලුම වෛද්‍ය උපාධිදාරීන් සඳහා. එවිට තමුන්ටත් එම නීති බලපාන නිසා දැන් කරන වෛද්‍ය සදාචාරයන් බිඳ දැමීම් කරන්නට එවිට බැරි නිසා මේ අය නිකම් වටේ යන බව මට පෙන්නේ.

      සියලුම දේශීය වෛද්‍ය උපදිදාරීන්ට අනිවාර්ය වන ලෙස විභාගයක් නියම කළා නම් SLMC නීතිය ඉදිරියේ දුර්වල වෙන්නේ නෑ.

      ඒ ගැන දීර්ගව ලියා තිබෙනවා මේ ලිපියේ. වෙලාව තිබෙන විටෙක කියවා බලන්න.

      Delete
    4. A/L තරඟ විභාගයක්

      Delete
  7. ඔබ පළවන කොමෙන්ටුවෙන් දක්වපු දේ තමයි මම අදහස් කලේ අඩු ප්‍රතිළුල ගත්ත අය සම්භන්ධයෙන් . මගේ යෝජනාව තවත් පැහැදිලි කරන්නම් . ලංඩන් . කේම්බ්‍රජි වල Z එකක් දෙන්නනේ නෑ. මම කියන්නේ අපි හිතමු අඩුම Z අගය ගත්ත 2016 වසරේ වෛද්‍ය විද්‍යාලයට ගියයේ කිලිනොචියෙන් කියල අපිහිතමු අගය 1.4ක් වගේ කියල එතකොට ඒ සඳහා ගත්ත ප්‍රතිළුලය අපි හිතමු A1, B1 ,C1 කියල .
    1. ලංකාවේ AL කරපු ඒත් දිස්ත්‍රක් පදනම නිසා අර 1.4ට වෑඩි අගය තිබුනත් වෛද්‍ය පීඨයට තේූරුන්නැති ළමයින්ගෙන් සයිතම් එකට යම් ප්‍රමානයක් (මුදල් ගෙවා හෝ ශෂ්‍යත්ව , ණය ක්‍රම මගින) බඳවා ගැණීම
    2.Edexcel, Cambridge කරපු අයගෙන් අවම සුදුසුකම අර ඉහත සඳහන් A1, B1,C1 ලෙස සැලකීම

    ReplyDelete
    Replies
    1. මුදල් ගෙවා අධ්‍යාපනය ගන්න අවස්ථාව ලැබිය යුත්තේ ඊනියා දිස්ත්‍රික් කෝටාව නිසා අසාධාරණයට පත්වුණා අය වෙනුවෙන් පමණක් නොවෙයි. ඔබ යෝජනා කරන ක්‍රමයෙන් කල හැක්කේ එය පමණයි. මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබෙන්න ඕනේ උනන්දුව ඇති සැබවින්ම ඒ වෘත්තීය ජීවිතය කරගැනීමට අවශ්‍ය අයට. නමුත් වෛද්‍ය ක්ෂේශ්ත්රය නිසා දක්ෂතාවය අතින් ඉතාම පහල කොටස් වැළකීමට උපක්‍රම යෙදීම ලෝකයේ අනෙක් දෙයක්. උපාධිය අවසානයේ විද්‍ය්ර්තයා සතු ගුණාත්මක භාවයයි වෘත්තියට වඩාත් වැදගත්. නැතුව උසස්පෙළ ප්‍රතිඵල නොවේ.

      ඒ වගේම ඕස්ට්‍රේලියාවේ හෝ එක්සත් ජනපදයේ තිබෙන ලෙස ලාභ නොලබන ආයතන බිහි කරන්න අපේ ලංකාව වගේ රටවල පුද්ගලික අංශය මුදල් ආයෝජනය කරන්නේ නැහැ. යම් ලාභ ප්‍රතිශතයක් ශිෂ්‍යත්ව සහ පර්යේෂණ වලට යොදවන ලෙස නීති සකසන්නට මිසක් ලාභය නොලබා පවත්වාගෙන යන්න හැකි වෙන්නේ නැහැ. අපි දියුණු වෙමින් පවතින රටක්.

      දේශීය සහ ලන්ඩන් දෙකටම නිවෙස් වලට ගිහින් උපකාරක පන්ති කරපු කෙනෙක් විදියට ඒවායේ කලාව එකෙනෙක්ට සැහෙන වෙනස් බව මම හිතන්නේ.

      මගේ අදහස පමණක් හරි බව සිතන්නේ නැති වුනාට; බඳවා ගැනීමේ තරඟ විභාගයක් වඩා සුදුසු වන්නේ ඒ නිසයි.

      Delete
  8. අධ්‍යාපනයේ නිදහස කෙසේවෙතත් වියදම් කරන මුදලට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අයිතියක් පුරවැසියන්ට හිමිවිය යුතුයි.අවශ්‍ය පැහැදිලි නියාමනයක්.. නැත්තෙත් ඒකමයි.ඉංදියාව නාගත්ත නා ගැනිල්ල අද ටික ටික එලියට එනවා වගේ ඒ දිහා බලලා අපිත් පාඩමක් ඉගෙනගත යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. රටේ මිනිස්සු මුදල් ගෙව්වත් තමුන් මුදල් ගෙව්වත් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ එකයි වීය යුත්තේ.

      අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට නියාමනයක්. පෙරපාසල් වල සිට පශ්චාත් උපාධි ආයතන දක්වා තමුන්ගේ ජාම් බේරගන්න කරන වහල ගැහිලි නැති පැහැදිලි ශක්තිමත් නියාමනයක්.

      Delete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.