Wednesday, May 29, 2019

වඳ කරන දොස්තරලා

මම පහත ලිපිය ලියුවේ 2017/03/06 වෙනි දිනයේදී ය. ඒ වන විට ඒ ගැන වෛද්‍ය සභාව හෝ වෙනත් කිසිවෙකු මේවාට එරෙහිව කතා කලේ නැත. සැමවිටම වෛද්‍යවරු නිවැරදි විය. එවකට සමාජයේ තිබුනේ ස්ථර වශයෙන් තිරස් බෙදුමකි. එහි පහල සාමාන්‍ය මිනිසුන් ගැහැනුන් සිටි අතර වෛද්‍යවරුන් සිටියේ ඉහළිනි. ඒ වකවානුවේ දී වෛද්‍යවරුන් සිදු කරන ලද අසික්කිත ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගීම සැලකුනේ දොස්තර හෝ මැවිසුරු වීමට නොහැකි වූ හීනමානයකින් ඇතිවූ වෛරයක් පිරිමසීමක් ලෙසයි. නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය වැරදියට වටහාගෙන සිටි  සිංහල බ්ලොග් අවකාශයේ සමහර නොදියුණු මානසිකත්වයෙන් යුතු පිරිස් දැරුවේද එම අදහසයි.එකල සිසේරියන් සැත්කමකින් පසුව කාන්තාවකට දරුවන් නොලැබීම ගැන පැමිණිලි කලේ නම් ඇය සියලු දෙනාගේ ගර්හාවට ලක්වෙනවා නියතය. 

නමුත්, අද වනවිට සමාජය බෙදී සිටින්නේ සිරස්වය. වෘත්තීය මදෙකට පසෙකලා ජාතීන් වශයෙන් ඇතිව තිබෙන බෙදීමේදී වෛද්‍යවරුන්ගේ අසික්කිත ක්‍රියාවන් කොන්දේසි විරහිතව සාධාරණීකරණය කල වෛද්‍ය සංගම් වැනි සංවිධානද වෙනත් ජාතික වෛද්‍යවරයෙකු කර ඇතැයි කියන අසික්කිත ක්‍රියාවන්ට එරෙහිව කතා කරමින් සිටී. 

නිසි ක්‍රමවෙධයන් සහ නීතියට වන්දනා මාන කිරීම් වෙනුවට නොයෙකුත් වෘත්තිකයන්ගේ ද දේශපාලකයන්ගේද දෙපාමුල වැඳ වැටීමේ අදීනව ගැන මෙය කදිම උදාහරණයකි. අදීන ගෞරවනීය මිනිසෙකු තැනීම අද රටේ පළමු අවශ්‍යතාවය වේ. 

මම 2017/03/06 ලියු ලිපිය පහතින්.  


2017/03/06
වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුපිරි පාසල් ඉල්ලමින් වර්ජනය කල දින ෆේස්බුක් හි පවත් අදහසක් මට මතක තිබේ. යම් අයෙකු උපහාසයෙන් කියා තිබුනේ "හෙට අනිද්දා වන විට වෛද්‍යවරුන්ට හැරෙන්නට වෙනත් අයට දරුවන් ලැබීමටද වෛද්‍යවරුන් ඉඩ නොදේවි" යන බවයි. එය එදා උපහාසයෙන් කියා තිබුනද අද විට නම් එය සත්‍ය විය හැකි මානයට පැමිණ තිබේ.

දඹුලු රෝහලේ දරුවන් බිහි කරන මවුවරුන්ට බලහත්කාරයෙන් උපත් පාලන ලුපයක් හෝ උපත් පාලන ඖෂධ අඩංගු උපකරණයක් හෝ ශරීරයට ඇතුලත් කර නොගෙන එම මවුවරුන්ට රෝහලෙන් පිටව යාමට ඉඩ ලබානොදීම මේ වන විට සිදුවී තිබේ. එසේ කිරීමට කිසිදු වෛද්‍යවරයෙකුට/වරියකට අයිතියක් නැති අතර ශිෂ්ඨ සම්පන්න මිනිසුන් වෙසෙන රටක් නම් මේ ය මේ වන විට සිටිය යුත්තේ බන්ධනාගරයෙයි.

ජනගහන පාලනයට අවශ්‍ය විද්‍යාත්මක නීති සැකසිය යුත්තේ ඒ සඳහා දැනුම ඇති විද්වතුන් සහ මහජන සහභාගීත්වයෙන් මිස ම්ලේච්ච ක්‍රම වලට නොවේ.

"වෛද්‍යවරුන්/වරියන් නොවෙන අයට ලිංගිකව එක්වීම අනවශ්‍ය බව කියමින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට chemical castration ඖෂධ බලෙන් ශරීරගත කරනු ඇතැයි" අද කෙනෙකු කිවහොත් එය හොඳ විහිළුවකි. නමුත්, මේ සිදුවන් ලෙස නම් හෙට දිනයේදී  එයටද යම් සත්‍යතාවයක් නොලැබේ යයි කිව හැකි නොවේ.

වෛද්‍යවරු නොවෙන අප ඔවුන්ගේ වැරදි සොයමින් ද්වේශයන් ඔවුන් හෑල්ලු කරන බව මේවා ගැන කතා කරනවිට නැගෙන චෝදනාවකි. නමුත්, මට සිතෙන්නේ නම් වෛද්‍යවරු සමග ද්වේශයන් ඔවුන් හෑල්ලු කිරීමට අවශ්‍ය වෛද්‍ය සභාවට සහ වෛද්‍ය සංගම් වලට බවයි. එසේ නොවේ නම්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් යනු ශිෂ්ඨ මිනිසුන්ගේ ගැහැණුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීමට නොදන්නා ගෝත්‍රිකයන් බවට ලෝකයා හමුවේ අපේ වෛද්‍යවරුන් හෑල්ලු වෙනතෙක් උකටලීව බලාසිටින්නේ ඇයිදැයි මට නොතේරේ. 

සමහර වෛද්‍යවරුන්ගේ මෙවැනි නීච අශීලාචාර ක්‍රියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අපේ වෛද්‍යවරුන්ගේ ගරුත්වය රැකගැනීමට කටයුතු නොකර, මිනිසුන් වෛද්‍යවරුන් යන වචනය ඇසෙන විටද  කෙල ගසන දිනය පැමිණෙන තෙක් මෙසේ උකටලීව බලාසිටින ශ්‍රීලංකා වෛද්‍ය සභාවට අපේ වෛද්‍යවරුන් සමග සමග කොයිතරම් ක්‍රෝධයෙන් නම් තිබියයුතුද ?

6 comments:

  1. නීතිය නවන්ඩ දෙන්නේ නැත්තං
    හරියට ඩොකියුමන්ට් කරනවනං
    හරි හමං විදියක් තියෙනවනං මැල්ප්‍රක්ටිස් වලටත් නඩු දාන්ඩ
    බබාලා ටික හරියට වැඩ කරාවි.

    අනික ශාපි උන්නැහේ විනාඩි 15ට සීසර් එකේ කොරනවනං, ඌ කොහොමද විනාඩි 15න් ඕක කොරන්නේ අහවල් ලොක්කටත් විනාඩි 30-45ක් යනවා කියන වෙලේ, අම්මප ශාපිය කෝමද ඔච්ච්ච්ර ඉක්මනට ගේම දෙන්නේ කියල හොයන්න නාථ වෛද්‍ය මහාචාර්යලට දැනුමක් නැහැ නේ. අඩුම ගානේ ඒ පිටින් පේපර් එකක් වත් පබ්ලිෂ් කරගන්ඩ ඇහැක් උනොත් කාටද.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක හරි.

      එත් අද මට ඕනේ උනේ සමාජයේ බෙදීම් වල ඇති වෙච්ච වෙනස්කම් ඉස්මතු කරන්න මේ සිදුවීම් එක්ක.

      මට ඇත්තටම රටේ තියෙන due processes ගැන විශ්වාසයක් නැති නිසාත් බොහෝ දෙනෙකුට due processes ඇති කිරීමට ඕනේ නැති නිසාත් ඒ ගැන කතා කිරීම දැනට අතහැරලා දැමුවා.

      Delete
  2. සකීර් නායික්ගේ පුරුද්දක් තමා මොනවහරි විද්‍යාත්මක‍ දෙයක් කියලා.
    අයිම් මෙජිකල් ඩොක්ටර් කියලා පැවසීම.
    එක සුද්දෙක් එයාගේ දේශනයක කරුනු විවේචනය කරලා අවසානයේ ලියුවා
    i'm truck driver කියලා

    ReplyDelete
  3. ලොකුසර්,මක්කවත් ලියමුද?
    නොලිය හිටිය හොඳටම ඇති දැන්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  4. මේක ඇත්ත වගේ නේද?

    "ඒ වකවානුවේ දී වෛද්‍යවරුන් සිදු කරන ලද අසික්කිත ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගීම සැලකුනේ දොස්තර හෝ මැවිසුරු වීමට නොහැකි වූ හීනමානයකින් ඇතිවූ වෛරයක් පිරිමසීමක් ලෙසයි."

    ReplyDelete

මගේ පරමාර්ථය තවත් අයෙකුට කියවීම සදහා ලිවීමයි. කියවන්නන්ගේ අදහස් දැනගැනීම ඔවුන් සදහා වඩාත් හොද ලියවිල්ලක් ලිවීමට මට හැකියාව ලබාදේ.